ශ්‍රී ලංගම අවන්හල වල්බිහි වෙලා | දිනමිණ

ශ්‍රී ලංගම අවන්හල වල්බිහි වෙලා

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරකඩුව - නාමල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංගම අවන්හල වසර අටක පමණ කලක සිට ප්‍රයෝජනයට නොගෙන වල්බිහිවී අතහැර දමා ඇත.

කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැලියොඩ නගරය පසුකර කිලෝමීටර 03 ක් පමණ රත්නපුර දෙසට යන විට නාමල්දෙණිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ මෙම අවන්හල පිහිටා ඇත. ඉකුත් රජය විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාගේ ආරාධනාව මත ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 2010 වසරේ මහජනතාව වෙනුවෙන් මෙය විවෘත කරන ලදී.

මාස කිහිපයක් පමණ එලෙස පවත්වාගෙන ගිය මෙම අවන්හල වසර අටකට ආසන්න කාලයක් මෙලෙස වසා දමා වල්බිහිවී ගරාවැටෙන තත්ත්වයට ඉඩහැර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

කොළඹ සිට බදුල්ල, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, අම්පාර, හම්බන්තොට, මොනරාගල, සියඹලාණ්ඩුව වැනි ප්‍රධාන නගර කරා ධාවනය කෙරෙන දුර ගමන් බස්රථ සඳහා මෙම ස්ථානයේ පහසුකම් සලසා තිබුණු අතර එම ප්‍රදේශවල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන ලංගම මගී බස්රථවල මගීන් සඳහා අවශ්‍ය සියලු ආහාරපානාදිය මෙහිදී ඉතා පහසුවෙන් මිලදී ගැනීමට පහසුකම් තිබූ අතර මෙම අවන්හල වැසී යාමත් සමඟ මගී ජනතාවට විශාල පාඩුවක් බව ද ඔවුහු පවසති.

කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය ගරාවැටීමට ඉඩ තැබීම විශාල මුදලක් වැයකර ඉදිකරන ලද මෙම අවන්හල යළි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට පවරාගෙන පෙර පරිදි අවන්හල පවත්වාගෙන යාමට හෝ වෙනත් දෙයකට යොදාගැනීම රජයේ අවධානය යොමුකළ යුතු යැයි ප්‍රදේශවාසීහු පවසති.

එච්. ඇම්. කිත්සිරි රූපසිංහ
ඇහැලියගොඩ සමූහ

නව අදහස දක්වන්න