ලොව මවිත කළ අමුතු වැඩ­කා­රයෝ | දිනමිණ

ලොව මවිත කළ අමුතු වැඩ­කා­රයෝ

ලොව මවිත කරවන වාර්තා, කලින් කලට ගිනස් වාර්තා පොතෙහි ලියැවී ඇත. මතු දැක්වෙන්නේ එවැනි වාර්තාවලින් සමහරකි.

 

1. ගුවන් යානයක් කා දැමීම

ප්‍රංශ ජාතික මයිකල් ලෝටීටෝ ගුවන් යානයක සියලු ම කොටස් ආහාරයට ගනිමින් වර්තාවක් පිහිටුවා ඇත. ඔහු අනුභව කළේ සෙස්නා 150 වර්ගයේ ගුවන් යානයකි. මගීන් දෙදෙනකුට ගමන් කළ හැකි මේ වර්ගයේ ගුවන් යානාවක්, මගීන් රහිතව රාත්තල් 1000ක් පමණ බරැති ය. මයිකල් ගුවන් යානාව ආහාරයට ගැනීම ආරම්භ කළේ 1978 වසරේදී ය. එවක හෙතෙම විසි අට හැවිරිදි වියේ පසු විය. සෙස්නා 150 යානය මුළුමනින්ම අනුභව කිරීමට ඔහුට වසර දෙකක කාලයක් ගතවුණු බව සඳහන් වේ. මේ දෙවසර තුළදී ඔහු දිනකට කිලෝ ග්‍රෑම් එකක් පමණ බරැති ගුවන් යානා කොටස් ආහාරයට ගෙන ඇත. ගුවන් යානයේ පැවැති ඛණිජ ඉන්ධන පවා මයිකල් පානය කළේ ය. මනුෂ්‍යයකු සාමාන්‍යයෙන් ආහාරයට නොගන්නා දේ ආහාරයට ගන්නට මයිකල්ට හැකියාව ලැබී තිබුණේ, ඔහු "පිකා" නමැති රෝගයෙන් පෙළුණු බැවිනි. 1959 - 1997 කාලය තුළ හෙතෙම ලෝහ ටොන් 9කට ආසන්න ප්‍රමාණයක් කා දමා තිබුණු බව සඳහන් වේ.

 

2. විෂ ඝෝර සර්පයන් මුඛයෙන් දැරීම

විෂ ඝෝර සර්පයකු ලෙස හැඳින්වෙන අමෙරිකා නයින් විශේෂයක් මුඛයෙන් දරාගෙන හිඳිමින් වාර්තාවක් තබා තිබෙන්නේ, ජැකී බිබී නමැත්තෙකි. වාර්තාව තබන අවස්ථාවේදී ඔහු පණ ඇති අමෙරිකා විෂ නයින් දහ තුන් දෙනකු එකවර මුඛයෙන් දරා සිටියේය. මෙයට අමතරව එම විශේෂයේම නයි උපයෝගී කරගෙන, අවස්ථා හතරකදී තවත් ගිනස් වාර්තා හතරක් තබන්නට ඔහු සමත්ව ඇත.

ජැකී අමෙරිකන් ජාතිකයෙකි. හෙතෙම අමෙරිකා විෂ නයි සමඟ ඔට්ටුවීම ආරම්භ කළේ, ඔහුට වයස අවුරුදු 18දී පමණ ය. නයි යොදාගෙන විවිධ විධියේ සංදර්ශන පැවැත්වීම, ඔහුගේ විනෝදාංශයේ එක් කොටසකි. විෂකුරු නයි සමඟ කටයුතු කරන්නට යෑමේදී, ඔහු එකොළොස් වරක් නයින්ගේ දෂ්ඨ කිරීම්වලට ලක්ව ඇත. ඔහු නයකු මෙල්ල කරමින් සිටින අවස්ථාවකදී, තවත් නයකු බිම දිගේ බඩගාගෙන පැමිණ ඔහුගේ පාදයේ බත් කෙණ්ඩ ප්‍රදේශයට වරක් දෂ්ඨ කළේ ය. උග්‍ර නයි විෂ ශරීරගත වීමෙන් හටගත් සංකූලතා හේතුවෙන්, ඔහුගේ එම පාදය කපා ඉවත් කරන්නට වෛද්‍යවරුන්ට සිදු විය.

 

3. ගොඩබිම වේගවත්ම යතුරු පැදි ධාවනය

විශේෂයෙන් සකස් කළ යතුරු පැදියක්, ගොඩබිමදී වැඩි ම වේගයකින් ධාවනය කර ගිනස් වාර්තාවක් තබා තිබෙන්නේ, රොකී රොබින්සන් ය. ඔහු එවර යතුරු පැදිය ධාවනය කළේ පැයට සැතැපුම් 394ක පමණ වේගයකින් ය. රොකී , අමෙරිකා ජාතිකයෙකි. හෙතෙම මේ වාර්තාව තැබුවේ 2010 වසරේදී, අමෙරිකාවේ බොන්විලේ ය. එවර ඔහු බිඳ දැමුවේ එයට පෙර අවස්ථාවකදී ඔහුම තබන ලද වාර්තාවකි.

 

4. සිහින් වයරයක නැඟී, උස් ස්ථාන දෙකක් අතර ගමන් ගැනීම

ඇල්ප්ස් කඳුකරයේ නැඟෙනහිර කඳු මුදුන් දෙකක් අතර අඳින ලද වයරයක් මතින් ගමන් කරමින් ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙන්නේ, ෆ්‍රේඩී නොක් ය. ෆ්‍රේඩී නොක් ස්විට්සර්ලන්ත ජාතිකයෙකි. ඔහු ගමන් කළේ පොළොව මට්ටමෙහි සිට අඩි 11,588ක් ඉහළ අවකාශයේ ඇඳ තිබුණු වයරයක් මත ය. එකී වයරයේ විශ්කම්භය අඟලකටත් වඩා අඩු බව දැක්වේ. වාර්තාව තැබුවේ මේ වයරය මතින් මිනිත්තු 39කට වැඩි කාලයක් ගමන් ගනිමිනි.

 

5. මෝටර් රථයක් සමතුලිතව හිස මත තබා ගැනීම

රාත්තල් 353ක් පමණ බරැති මෝටර් රථයක්, හිස මත සමතුලිතව තබා ගනිමින්, අමුතු වාර්තාවක් පිහිටුවා තිබෙන්නේ ඉංග්‍රීසි ජාතික ජෝන් ඉවන්ස් ය. වාර්තාව පිහිටුවන අවස්ථාව වන විට ජෝන් 68 හැවිරිදි වියේ පසු විය. මෝටර් රථයක් හිස මත සමතුලිතව තබා ගනිමින් පමණක් නොව, තවත් විවිධ දෑ හිස මත සමතුලිතව තබා ගනිමින් හෙතෙම ගිනස් වාර්තා 33ක් තබා ඇත. ගඩොළු 101ක් සමතුලිතව හිස මත තබා ගනිමින් ද, පොත් 62ක් හිස මත සමතුලිතව තබා ගනිමින් ද, ඔහු තැබූ වාර්තා කැපී පෙනෙයි. එක්සත් රාජධානියේ ඩර්බි විශ්වවිද්‍යාලයේ විද්වත්හු පිරිසක්, ජෝන් ඉවන්ස්ගේ ශරීරය ස්කෑන් කරමින් මේ අමුතු හැකියාව ගැන වරක් පර්යේෂණ පැවැත් වූහ. පර්යේෂණවලින් තහවුරුව තිබෙන්නේ, ජෝන් ඉවන්ස්ගේ අස්ථිවල ඝනත්වය වයස අවුරුදු විසි ගණන්වල පසුවන මලල ක්‍රීඩකයකුගේ අස්ථිවලට සමාන බව ය. මේ පිළිබඳ ජෝන් ඉවන්ස් පවසන්නේ, ඔහු කිසි දිනෙක කාය වර්ධන ව්‍යායාම කර නැතැයි කියා ය. ඒ මදිවාට තමන් දියවැඩියා රෝගියකු බව ද ඔහු කියා සිටී.

6. වැඩි ම වෙලාවක්

හිම කැට අතර හිඳීම

නෙදර්ලන්ත ජාතික විම් හොෆ් හැඳින්වෙන්නේ "අයිස් මෑන්" හෙවත් 'හිම මිනිසා' හැටියට ය. ඔහුට ඒ නම පට බැඳී තිබෙන්නේ, සිය නිරුවත් සිරුර හිම කැට ගොඩක බස්සවාගෙන වැඩි ම වෙලාවක් සිටින්නට සමත් වූ බැවිනි. මේ නිසා ඔහුට සිරුර තබාගෙන සිටින්නට සිදු වුණේ අතිශයින්ම පහළ උෂ්ණත්ව මට්ටමක ය. වාර්තාව තැබීමට පැයයි මිනිත්තු 42කුත් තත්පර 22ක කාලයක් පුරා, ඒ දුෂ්කර අත්දැකීම විඳින්නට ඔහුට සිදු විය.

අතිශයින්ම පහළ උෂ්ණත්ව මට්ටම්වල වුව හිඳීමේ විශේෂ හැකියාවක් විම් සතු බව පර්යේෂණයකින් තහවුරුව ඇත. පහළ උෂ්ණත්ව මට්ටමකදීත් තමන්ගේ හෘදය ස්ඵන්දනය ඉහළ මට්ටමක තබා ගන්නට ඔහුට පුළුවන. අධික ශීතලයේදී පවා ඔහුගේ සිරුරේ ඇඩ්‍රිනලීන් හෝර්මෝන මට්ටමත්, රුධිරයේ රසායනික සංයුතියත් අන්තරාකාරී ලෙස වෙනස් නොවන බව, විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ නිසා, හිම සහිත පරිසර පද්ධතිවල හිඳිමින්, විවිධ විධියේ වාර්තා පිහිටුවන්නට ඔහුට හැකි වී ඇත. තමන් ඇඟලාගෙන සිටින සාමාන්‍ය කමිසයෙන්, කලිසමෙන් සහ පාවහන් යුවළෙන් පමණක් එවරස්ට් කඳු මුදුනට ළඟා වන්නට ඔහු වරක් උත්සාහ කළේ ය. එහෙත්, ඔහුට එවරස්ට් මුදුනටම ළඟා වන්නට බැරි විය. ඉලක්කය බිඳ වැටුණේ විම්ගේ දෙපා දැඩි ලෙස තුවාල වීම නිසා ය.

 

7. දිග ම නියපොතු

ලොව දිග ම නියපොතු ඇති යුවළ ලෙස වරක් නම් කෙරුණේ, අමෙරිකා ජාතික පිරිමියකු වන මෙල්වින් බූත් සහ අමෙරිකා ජාතික ගැහැනියක වන ලී රෙඩ්මන්ඩ් ය. මෙල්වින්ගේ දෑතෙහි නියපොතුවල දිග මීටර 9.05ක් විණි. ලීගේ දෑතෙහි නියපොතුවල දිග මීටර 8.65ක් පමණ විය. 2002 වසරේදී ඔවුහූ මේ වාර්තාව තැබූහ. වාර්තාව තබන අවස්ථාව වනවිට මෙල්වින් විසි තුන් වසරකින් මෙහා නියපොතු කපා නොතිබුණු බැව් හෙළි විය. ඔහුගේ දෑත්වල තිබුණු නියපොතුවලින් වඩාත් දිග ම නියපොත්ත තිබුණේ, දකුණු අතෙහි මහපටැඟිල්ලේ ය. එහි දිග අඩි දෙකකුත් අඟල් 11ක් විය. ගිනස් වාර්තාව තැබීමෙන් වසර කිහිපයකට පසු, රිය අනතුරක් හේතුවෙන් ලීට ඇගේ නියපොතු අහිමි විය.

 

8. ගොළුබෙල්ලන් මුහුණ මත තබා ගැනීම

පණ ඇති ගොළුබෙල්ලන් වැඩි ම සංඛ්‍යාවක් තම මුහුණ මත වැඩි ම කාලයක් තබා ගනිමින් වාර්තාවක් පිහිටුවා තිබෙන්නේ, අමෙරිකාවේ උටාහ් හි දරුවෙකි. එකොළොස් හැවිරිදි ෆින් කෙලෙහෙර් නමැති මේ දරුවා වාර්තාව පිහිටුවා තිබෙන්නේ, 2009 වසරේදී ය. තත්පර දහයක කාලයක් තුළදී ගොළුබෙල්ලන් හතළිස් තුන්දෙනකු තම මුහුණ මත තබා ගන්නට ඔහු සමත් විය. මේ වාර්තාව පිහිටුවන්නට ඔහු ගොළුබෙල්ලන් සොයාගෙන ඇත්තේ, අසල්වැසියන්ගේ ගෙවතුවලිනි.

මංජුලා විජ­ය­රත්න 
 

නව අදහස දක්වන්න