හිස රිදවයි බර අඩු වෙයි | දිනමිණ

හිස රිදවයි බර අඩු වෙයි

තඹරු විජේසේකර

කාර්යබහුල ජීවිත සහ පාලනයක් නැති හා නොගැලපෙන ආහාර ගැනීම නිසා වත්මන් සමාජයේ මූලික ගැටලුවක් බවට ස්ථූලතාව පත්ව තිබෙනවා. මහත් වීම ගැන කාන්තාවන් වධ වෙනවා වගේම බස් එකකට නැග්ගත් සීට් එකක් ලැබෙන තරමට බඩ ආ පිරිමි අයත් තමන්ගේ මේද මට්ටම් ගැන වධ වෙනවා. තවත් අය කොලෙස්ටරෝල් ගැන බිය වෙනවා. නමුත් මේ දේවල්වලට පිළියම් වශයෙන් ශරීර සුවතා ව්‍යායාම් වෙනුවට ඉක්මන් ප්‍රතිකර්ම සොයන්නට බොහෝ දෙනෙක් පෙළඹෙනවා. මේදය අඩු කරන පාන වර්ග, බෙහෙත්, විදුලි උපකරණ ආදිය යොදාගෙන ආහාරයට ගන්නා දේවල් හා ප්‍රමාණයන් නිවැරැදි නොකොට ක්ෂණික කෙට්ටු වීමට මඟ සොයනවා. මෙසේ බර අඩු කිරීම වෙනුවෙන් සැකසූ ස්නායු විද්‍යාව පදනම් කරගත් හිස් පළඳනාවක් ද අසාර්ථක බවට චෝදනා ලබමින් පවතිනවා.

බ්‍රිතාන්‍ය ස්නායුවිද්‍යාඥ වෛද්‍ය ජේසන් මැක්කීවන් ගේ සංකල්පයක් අනුව නිමවන ලද මෝඩියස් (Modius) නමැති පළඳනාවට ඇඟේ මහත අඩු කරන්නට හැකි බවට ඔහු පවසනවා. හිසේ පැළඳ කන පසුපස අලවාගත් ඉලෙක්ට්‍රෝඩයකට එය සබැඳූ විට ස්නායු හා සබැඳී දේහ බර අඩු කරන්නට ඊට හැකියාව ඇති බව සඳහන් කරනවා. බැලූ බැල්මට හිස වටා යන සුදු පැහැති ප්ලාස්ටික් හෙඩ්සෙට් එකක් වැනි පෙනුමක් ඇති නමුත් මහතින් වැඩි, හෙඩ් ෆෝන් දෙකක් මෙන් ඉන් පිටතට ආ ඉලෙක්ට්‍රෝඩ දෙකක් මෙය සතු වෙනවා. කන පසුපස වෙනම අලවාගත් කොටසකට මේවා සබැඳෙනවා. සක්‍රීය කිරීමට හා හිසට ඇති කරන බලපෑම වෙනස් කිරීමට එහි බොත්තම් තිබෙනවා. පර්යේෂණයක් වශයෙන් නව දෙනෙක්ට සති 16ක් කරන ලදුව, ඉන් ඔවුන් සියල්ලන්ගේම මේද මට්ටම් අඩු වීම පදනම් කරගෙනයි ඔවුන් මෙම නිෂ්පාදනය සිදු කර තිබෙන්නේ.

කොතරම් ව්‍යායාම කළත්, ඊට සාපේක්ෂව අපේ ආහාර ගැනීමට ඇති අවශ්‍යතාව වැඩි වෙනවා. මේ නිසා ඇඟ මහන්සි වන විට බඩගින්න හා කෑ හැකි ප්‍රමාණය වැඩිව යන නිසා අපේ ඇඟේ බර නොදැනුවත්වම තවත් වැඩි විය හැකියි. මේ නිසායි මේද දහන ව්‍යායාම උපදෙස් සමඟ ආහාර වට්ටෝරුවක් (ඩයට් ප්ලෑන් එකක්) ද ලැබෙන්නේ. මෙම ආහාර ගැනීමට ඇති හැකියාව පාලනය කිරීම සඳහා හයිපොතැලමසට දෛනිකව කරනු ලබන උත්තේජනයකින් ඵල ලැබීමට මෝඩියස් උපකරණය උත්සාහ කරනවා. එය පැළඳ, සක්‍රීය කළ විට විවිධ මට්ටම් 10ක් යටතේ තමාට දැනෙන තරමට සකසා ගන්නට පුළුවන්. එවිට ඇල්කොහොල් මඟින් සම පිසදා කන පසුපස අලවා ගත් ඉලෙක්ට්‍රෝඩයෙන් ඉතා කුඩා විදුලි ගලනයක් දැනෙන අතර එය මොළයට පණිවුඩ යැවීම අරඹනවා. දිනකට පැයක් මෙම උපකරණය දිගු කලක් භාවිත කළ විට මේදය අඩු වන බවටයි ඔවුන් පවසන්නේ. එය හඳුන්වා දීමේ වීඩියෝපටවල එය පාවිච්චි කළ අයගේ අදහස් අතරෙහි “මම දිනපතා කාය වර්ධන මධ්‍යස්ථානයට යන අතරේම මෙය පාවිච්චි කළා” වැනි දේ ද අඩංගු කරමින් කියන්නට උත්සාහ කරන්නේ මෙය මේද දහනය ඍජුවම සිදු කරන උපකරණයක් නොව, හුදෙක් ආහාර ගැනීමට ඇති අවශ්‍යතාව අඩු කරලමින් ව්‍යායාම වලින් බර අඩු කිරීමට ලබාදෙන සහායක් බවයි. ස්මාර්ට් දුරකතනයට බ්ලූටූත් හරහා සම්බන්ධ කරමින් වාර්තාවන්, පාලනය කිරීම් ආදිය ද කරන්නට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඔවුන් විසින් වීඩියෝවලට යොදාගත් පුද්ගලයන් නොව, එය වෙළෙඳපොළට යැවීමෙන් පසු ලැබෙන ප්‍රතිචාරයන්හි දකින්නට ඇත්තේ මෙය පැළඳ සිටීම අපහසු බවයි. එමඟින් කන පසුපසින් කිති කැවීමක් වැනි විදුලි ගලනය දරා සිටිය ද මඳ වේලාවකින් වමනය කිරීමට අවශ්‍ය බවක් වැනි හැඟීමක් ඇති වන බවත් එවිට කොහොමටත් අප්‍රියතාව නිසා ආහාර ගන්නට අවශ්‍යතාවක් නොලැබෙන බවයි. සැන්ඩ්‍රා ආඩ්මොට් නමැති ස්නායු විද්‍යාඥවරිය පවසන්නේ “මට හොඳටම විශ්වාසයි එයාලා ඒක හරියට වැඩ කරනවාද කියාවත් සැලකිල්ලෙන් පරීක්ෂා කර නැහැ. කවුරු හරි FDA (ඇමරිකානු ආහාර හා ඖෂධ පාලක මණ්ඩලය) වෙත අනුමැතිය ගන්න මේක පෙන්නුවොත් ඒ අය හොඳටම හිනා වේවි!”කියායි. එසේම මෙහි ස්නායු විද්‍යාත්මකව එය කෙතරම් සාර්ථකද යන්න පිළිබඳව ඇත්තේ සීමිත දත්ත ප්‍රමාණයක් පමණයි. සති 16ක කාලයකින් ලද තොරතුරු මත ජීවිත කාලයක් පාවිච්චි කළ හැකි සෞඛ්‍යමය නිෂ්පාදනයක් එළි දක්වද්දී ඊට වඩා වගකීමකින් කටයුතු කළ යුතු වෙනවා.

මෙවන් ආකාරයේ බර අඩු කිරීම සඳහා විවිධ උපකරණ අන්තර්ජාල වෙළෙඳපොළෙහි දකින්නට ලැබෙනවා. ඇතැම් උපකරණ බඩ අඩු කිරීම වෙනුවෙන් බඩෙහි බැඳි පටියක් ලෙස තිබෙනවා. එහි මධ්‍යයේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් තිබෙනවා. එය සමඟ ලැබෙන ජෙල් එක බඩෙහි ආලේප කර, එම ඉලෙක්ට්‍රොනික කොටස සක්‍රීය කළ විට විදුලි සංඥා උදර පේශි වලට යවමින් ඒවා සොලවමින් ව්‍යායාම කරවනවා. එසේම විවිධ ආහාර පාන වර්ග ද මේද අඩු කරන බවට කියමින් මඩිය තරකර ගත්ත ද නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ඒවා තෝරා ගැනීම නුවණට හුරු නැහැ. වෙළෙඳ දැන්වීමක සිටින සතුටු මුහුණැති නළු නිළියන් දැක මුදල් සහ සෞඛ්‍යය පරදුවට තබනවාට වඩා, ස්වාභාවික ආකාරයට හොඳ ආහාරපාන ගැනීමත්, නිසි පරිදි ව්‍යායාම දිනපතා කිරීමත් හරහා ඉතාම පහසුවෙන් බර අඩු කරගන්නටත්, සෞඛ්‍යය හොඳ මට්ටමක පවත්වා ගන්නටත් පුළුවන්. “ඉක්මන් කොටයි”කියන්නේ කට කහනවාට නොවනවාක් මෙන් ම ඉක්මණට බඩ අඩු කරගන්න ගියොත් නම් ජීවිතෙත් කොටයි.

නව අදහස දක්වන්න