SDB බැංකුව-රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ සහායෙන් විරු දෑත් සවි­බල ගන්වන නීල­හ­රිත ව්‍යාපෘ­තිය | දිනමිණ

SDB බැංකුව-රාජ්‍ය ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ සහායෙන් විරු දෑත් සවි­බල ගන්වන නීල­හ­රිත ව්‍යාපෘ­තිය

සුනිල් සම­ර­වීර - ලේකම්, ආර­ක්ෂක රාජ්‍ය අමා­ත්‍යාං­ශය

‘අපේ අර­මුණ විශ්‍රා­මික රණ­වි­රු­වන් කෘෂි ව්‍යාපා­රි­ක­යන් පිරි­සක් කිරී­මයි’ 

 

දශක ගණනාවක් ඇදුණු කැළඹිලි සමයකින් පසුව ශ්‍රී ලංකාව දැන් ගමන් කරමින් සිටින්නේ සාමය තුළින් සමෘද්ධිය කරා යන සුබවාදී මාවතකය. ආර්ථික සංවර්ධනයේ දිශාව පිළිබඳව මෑතකාලීනව කෙරෙන සංවාදයන්හි දී නීලහරිත ආර්ථිකයක් පිළිබඳව සැළසුම් හා අපේක්ෂාවන් නිතර සාකච්ඡා වනු දැකිය හැකි වූ අතර, රජයේ ආර්ථික දැක්ම යටතේ කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විවිධ පියවර ගෙන ඇති බවද දැකිය හැකිය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ SDB බැංකුව සහයෝගයෙන් දියත් කර ක්‍රියාත්මක කරන නීලහරිත ව්‍යාපෘතියද කෘෂිකාර්මික සමෘද්ධිය ඉලක්ක කරගත් එක් සුවිශේෂී ව්‍යාපෘතියකි. මෙහි සුවිශේෂීත්වය වන්නේ ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක බළකායේ සහ පොලිසියේ විශ්‍රාමලත් රණවිරුවන් සවිබල ගැන්වීම තුළින් නීලහරිත ආර්ථිකයට මංපෙත් විවර කිරීමට දරන උත්සාහයයි.

පහත දැක්වෙන්නේ SDB බැංකුවේ සහයෝගය ඇතිව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන නීලහරිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය ලේකම් සුනිල් සමරවීර මහතා සමඟ කෙරුණු සම්මුඛ සාකච්ඡාවකි.

 

නීලහරිත ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතියක් සඳහා ඇති අවශ්‍යතාවය කුමක්ද ?

ආර්ථික සංවර්ධනයේ නව ගමනක නියැළෙන රටක් වශයෙන් ශ්‍රී ලංකා රජය කෘෂි ආර්ථිකය සංවර්ධනය කිරීම කෙරෙහි විශාල අවධානයක් යොමු කරන බව අපි කවුරුත් දන්නවා. මේ සඳහා රජය විසින් විශේෂ අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේ සිට තවත් බොහෝ පියවර ගෙන තිබුණා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපි අවබෝධ කරගත් කාරණයක් තමා තවමත් අපි උපරිම ප්‍රයෝජන නොගන්නා විශාල මානව සම්පතක් අප සතුව ඇති බව. ඒ තමා යුද, ගුවන් හා නාවික හමුදාවලින් මෙන්ම පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායෙන් විශ්‍රාමලත් රණවිරුවන්. දීර්ඝ කාලයක් පුරා රටේ ඒකීයත්වය හා නිදහස වෙනුවෙන් සටන් වැදුණු රණවිරුවන් බොහෝ දෙනෙක් අද තමන්ගේ ගමට වී විශ්‍රාම සුවයෙන් පසුවෙනවා. නමුත් මේ පිරිස සතුව සුවිසල් ජවයක් සහ ශක්තියක් පවතිනවා. ඒ වගේම විශේෂයෙන් අනුරාධපුරය, කුරුණෑගල, පොළොන්නරුව වැනි ප්‍රදේශවල විශ්‍රාමික රණවිරුවන්ට කෘෂි කාර්මික පසුබිමක් තිබෙනවා. නීලහරිත ව්‍යාපෘතියේ මූලික අරමුණ මේ ජවසම්පන්න මානව සම්පත නිසි උපදේශනය, දිරිගැන්වීම සහ සහයෝගය තුළින් කෘෂි ආර්ථික සංවර්ධනය කරා යොමු කිරීම. මේ ව්‍යාපෘතිය සඳහා මූල්‍ය සහයෝගය SDB බැංකුවෙනුත් උපදේශනය කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛ සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව පොල් වගා කිරීමේ මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවලින් ලැබෙනවා.

නීලහරිත ව්‍යාපෘතිය හරහා අත්පත් කරගැනීමට අපේක්ෂා කරන ඉලක්කය කුමක්ද ?

විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණයක් තමා අපේ ඉලක්කය කෘෂි ව්‍යාපාරිකයන් පරපුරක් බිහි කිරීම. නීලහරිත ව්‍යාපෘතියේ ප්‍රතිලාභියෙක්ට ව්‍යාපාරික අරමුණක් ඇතිව තමන්ට සාර්ථක විය හැකි ඕනෑම වගාවකට යොමු විය හැකියි. එය එළවළු හෝ පලතුරුවල සිට තේ වැනි බෝග දක්වාත් සුළු අපනයන බෝග දක්වාත් ඕනෑම කෘෂි බෝගයක් වෙන්න පුළුවන්. වර්තමානයේ දී නිවැරැදි තාක්ෂණය යොදා ගෙන වෙළෙඳ පොළ ඉල්ලුමට ගැළපෙන ආකාරයට නිපදවන කෘෂි නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා සිටින විශ්‍රාමික රණවිරුවන් කෘෂි ව්‍යාපාරිකයන් පිරිසක් බවට පරිවර්තනය කිරීම තුළින් රටේ ආර්ථිකයට දැවැන්ත සවියක් ලැබීමට නියමිතයි. මේ කාර්යයේ දී ප්‍රතිලාභීන්ට මූල්‍ය සවිය සැපයීම සිදු කරන්නේ SDB බැංකුවයි. SDB බැංකුව දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් ඇති ග්‍රාමීය ජනතාවගේ හදවතට ඉතා සමීප බැංකුවක්. ග්‍රාමීය ආර්ථිකය, ග්‍රාමීය ව්‍යවසායකත්වය නැංවීම පිළිබඳව ඔවුන් සතු ප්‍රවීණත්වය නීලහරිත ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ඉතා වැදගත්.

නීලහරිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද ?

SDB බැංකුවේ සහාය ඇතිව නීලහරිත ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. එහි පළමු අදියරය යටතේ පවුල් 1000 ක් ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් විදියට සම්බන්ධ කරගැනීමටත් පසුව එය 5000ක් දක්වා ව්‍යාප්ත කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. තමන්ගේ කියා වගාවක් ආරම්භ කිරීමට බිම් කඩක් ඇති ඊට අවශ්‍ය උනන්දුව හා කැපවීම ඇති ඕනෑම විශ්‍රාමික රණවිරුවෙක්ට නීලහරිත ව්‍යාපෘතියට සහභාගී වීමේ හැකියාව තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ, සිවිල් ආරක්ෂක බළකායේ සහ පොලිසියෙන් විශ්‍රාමලත් රණවිරුවන්ට මෙන්ම රණවිරු විශ්‍රාම වැටුපක් ලබන දිවිපිදූ රණවිරුවෙක්ගේ පවුලේ අයටත් නීලහරිත ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් බවට පත් විය හැකියි.

නීලහරිත ව්‍යාපෘතිය මේ දක්වා ලබා ඇති සාර්ථකත්වය ?

ආරම්භයේ සිට මේ දක්වා අපි කෘෂිකර්ම අමාත්‍යංශය සහ SDB බැංකුව සමඟ එක්ව වැඩමුළු ගණනාවක් පවත්වා තිබෙනවා. මේ වැඩමුළු හරහා විශ්‍රාමික රණවිරුවන්ට අවශ්‍ය මූලික දැනුම හා උපදේශනය සැපයීමටත් SDB බැංකුව හරහා ඔවුන්ට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සැපයීමටත් අපිට හැකි වුණා. අගුණකොලපැලැස්සේ පැවති වැඩමුළු 4 ක්, මාතලේ ප්‍රදේශයේ සුළු අපනයන බෝග පිළිබඳව පැවැති වැඩමුළු, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැවැති ඇන්තූරියම් හා විසිතුරු මල් වගාව පිළිබඳව වැඩමුළු මෙන්ම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති මීමැසි පාලනය පිළිබඳව වැඩමුළු ඇතුළු වැඩමුළු විශාල ප්‍රමාණයක් හරහා සැළකිය යුතු වැඩකොටසක් ඉටු කිරීමට අපට හැකි වුණා.

මේ සෑම වැඩමුළුවකදීම අපට SDB බැංකුවේ සහයෝගය හිමි වුණා. විශේෂයෙන්ම ග්‍රාමීය පරිසරිය සහ ප්‍රජාව තුළ ඔවුන් සතු අත්දැකීම් රණවිරුවන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීමේදී ඉතා වැදගත් වුණා.

නීලහරිත ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ඇති සැළසුම් මොනවාද ?

මා පෙරදීත් සඳහන් කළා වගේ අපේ බලාපොරොත්තුව කෘෂි ව්‍යාපාරිකයන් පිරිසක් බිහි කිරීමයි. නීලහරිත ව්‍යාපෘතිය යටතේ අපි මේ නව කෘෂි ව්‍යාපාරික පරපුරට අවශ්‍ය තාක්ෂණික දැනුම, මූල්‍ය ප්‍රාග්ධනය සැපයීම වගේම ඔවුන්ට සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත්වීමට අවශ්‍ය උපදේශනය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අස්වනු මිල උච්ඡාවචනය වැනි කර්මාන්තයට බලපාන ගැටලුවලින් ඔවුන් ආරක්ෂා වෙන ක්‍රමවේදයන් නිර්මාණය කිරීම, අස්වනු අලෙවි කිරීමට හැකි වෙළෙඳ පොළ නිර්මාණය කිරීම වගේම නව වෙළෙඳ පොළ අවස්ථා නිර්මාණය කිරීම වැනි බොහෝ දේ ඉදිරියේදී නීලහරිත ව්‍යාපෘතිය යටතේ අපි ක්‍රියාවට නංවනවා. නීලහරිත ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද ? මේ සම්බන්ධව අවශ්‍ය විස්තර ඕනෑම වේලාවක 011 2451750 දුරකතන අංකය ඔස්සේ විශ්‍රාමික රණවිරු සුබසාධක අංශය ඇමතීමෙන් හෝ 0718 646281 හෝ 0714 407783 දුරකතන අංක හරහා කපිතාන් කේ. එස්. එස්. කේ. ගජනායක මහතා ඇමතීමෙන් හෝ ලබාගත හැකියි. ඒ වගේම සෘජුවම වැඩමුළුවට පැමිණ සහභාගීවීමටත් හැකියාව තිබෙනවා. ඉල්ලුම්පත් යොමු කිරීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික රණවිරු සුබසාධක අංශය හරහා හෝ දිවයින පුරා පිහිටි ඕනෑම SDB බැංකු ශාඛාවක් හරහා සිදු කළ හැකියි. අවසන් වශයෙන් අපි වැඩසටහන හා සම්බන්ධ වීමට හැකියාව ඇති සියළුම විශ්‍රාමික රණවිරුවන්ට නොපමාව වැඩසටහන හා සම්බන්ධ වන ලෙසට ආරාධනා කරන්න කැමතියි. නීලහරිත ව්‍යාපෘතිය SDB වැනි විශ්වාසනීය බැංකු සහකරුවන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක දීර්ඝ කාලීන වැඩසටහනක්. මේ හරහා ඔබටත් අත මිට සරු කෘෂි ව්‍යාපාරිකයෙක්වීමට වගේම රටේ ආර්ථික සංවර්ධනයට දායකත්වයක් ලබාදීමටත් අගනා අවස්ථාවක් හිමි වෙනවා.

නව අදහස දක්වන්න