ළමුන් තිදෙනෙක් - චීන රජය ඉඟියක් | දිනමිණ

ළමුන් තිදෙනෙක් - චීන රජය ඉඟියක්

චීනය දරුවන් දෙදෙනෙකු පිළිබඳ ප්‍රතිපත්තිය ලිහිල් කරමින් පවුලකට දරුවන් තිදෙනෙක් හිමිකරගැනීමේ අවස්ථාව ජනතාවට දෙන්නට සැරසේන්නේ දැයි යන්න සම්බන්ධයෙන් එරට තුළ සාකච්ඡාවක් මතුවෙමින් පවතී.

2019 පෙබරවාරි මාසයේ එළැඹෙන 'සූකාරයාගේ වසර' සැමරීම සඳහා, මේ සතියේ නිකුත් කෙරුණු මුද්දරය සාකච්ඡාවට ලක්කරන සමාජ මාධ්‍ය පරිශීලකයෝ, පවුල් සැලසුම් සීමාවල යම් ලිහිල් බවක් ඇතිවන්නට යන්නේද යන්න පිළිබඳ ප්‍රශ්න කරති.

මුද්දරයෙන් නිරූපනය කෙරෙන්නේ සූකර යුවලක් හා පැටවුන් තිදෙනෙකි. බැලූ බැල්මට එය ප්‍රතිපත්ති පිළිබඳ නිවේදනයක් ලෙස සැලකීම අසීරුය. නමුත්, ජනප්‍රිය Sina Weibo සමාජ මාධ්‍යයේ පරිශීලකයින් පෙන්වාදෙන්නේ, මින් වසර දෙකකට පෙර චීනය එක් දරු ප්‍රතිපත්තිය අහෝසි කිරීමට පෙර 'වඳුරාගේ වර්ෂය' සඳහා නිකුත් කෙරුණු මුද්දරයේ වඳුරු පැටවුන් දෙදෙනෙකු දැක්වුණු බවය.

එසේම මෑත යුගයේදී චීන රජය, එක් දරුවකුට වඩා දරුවන් හිමිකර ගැනීම වෙනුවෙන් යම් යම් දිරිගැන්වීම් කළේය. එහිදී බදු සහන වැනි දිරිගැන්වීම් මෙන්ම අධ්‍යාපන හා නිවාස සහන සැලසීමට ද ප්‍රාදේශීය බලධාරීහු පියවර ගත්හ.

මේ සම්බන්ධයෙන් චීන මාධ්‍ය ද මත පළ කළ අතර, The China Times පුවත්පත මෑතක සිය කතුවැකියෙන් පැවසුවේ එරට දරු දෙදෙනෙක් පිළිබඳ ප්‍රතිපත්තිය,"ජාතික සරුබව පිළිබඳ අනුපාතය සක්‍රීයව ඉහළ නැංවීමක් නොකරන" බවකි.

මතභේදයකට ලක්වූ චීනයේ එක් දරු ප්‍රතිපත්තිය, මුලින්ම 1979 වර්ෂයේ හඳුන්වා දෙනු ලැබූ අතර, 2015 දී අහෝසි කෙරිණි. නමුත් දරුවන් දෙනෙනෙකු පිළිබඳ ප්‍රතිපත්තියේ වාසි සලසා ගැනීමට දෙමාපියන් එතරම් දැඩි උද්යෝගයක් පළ නොකළේය. බොහෝ චීන තරුණයින් පවසන්නේ, දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් නොව, එක් දරුවකු හෝ හදා වඩා ගැනීමටත් අරගල කිරීමට සිදුවී ඇති බවය.

China Daily පුවත්පතට අනුව නව වසර වෙනුවෙන් නිකුත් කෙරුණු මුද්දරය, "ප්‍රීතිමත් පවුල යන්න තේමා කරගත් ග්‍රහ පිහිටීම අනුව සැකසෙන මුද්දරවල සිව්වෙනි වටය" වේ.

එක් මුද්දරයකින් "ප්‍රීතිමත් ජීවිතයක් කරා දිව යන" එක් ඌරකු නිරූපනය වන අතර තවත් එකකින් "ප්‍රීතියෙන් සිටින සාමාජිකයින් පස්දෙනෙකුගේ ඌරු පවුලක්" පෙන්වයි.

සෑම වසරකම ජනවාරි හෝ පෙබරවාරි මාසයේ උදාවන චීන අලුත් අවුරුද්ද සම්ප්‍රදායිකව අලුත් ආරම්භයක සලකුණක් පෙන්වයි. අලුත් චන්ද්‍ර වර්ෂයේ එන ප්‍රතිපත්ති වෙනස්කම් ගැන ඊට පෙර කිසියම් තේමා සහ අදහස් ඉස්මතු කිරීම එරට රජය විසින් කරනු ලබයි.

මේ අනුව නව මුද්දරය, චීන ආණ්ඩුව කිසියම් අයුරකින් දෙන 'ඉඟියක්' බව සමාජ මාධ්‍ය පරිශීලකයින් දහස් ගණනින් අදහස් දක්වමින් පවසයි.

(බීබීසී පුවත් සේවය ඇසුරිනි)

නව අදහස දක්වන්න