බිලිඳකුගේ සොහොනක් හාරා හූනියමක් කරලා | දිනමිණ

බිලිඳකුගේ සොහොනක් හාරා හූනියමක් කරලා

අනුරාධපුර මධ්‍යම විශේෂ

කාන්තාවක් හා ඇගේ බෑණා දැලේ

හිතවතෙකුට ලබා දුන් රුපියල් විසි ලක්ෂයක මුදල නැවත ලබා ගැනීමට කට්ටඩියකු දුන් උපදෙස්වලට අනුව හූනියමක් සිදුකිරීමට, බිලිඳු මළසිරුරක් භූමදාන කළ සොහොනක් හාරා පොල් ගෙඩියක් වැළලු කාන්තාවක හා ඊට අනුබල දුන් ඇගේ බෑනා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ මෙහෙයුම් අංශයේ නිලධාරින් විසින් ඊයේ (14) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අනුරාධපුර පොලිස් වසමේ කටුකැලියාව ගල්පොත්තේගම දීප්තිගම ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක පිළිකාවක් නිසා මියගිය වයස අවුරුදු හතරහාමාරක දරුවෙකුගේ දේහය තැම්පත් කර තිබූ සොහොන හාරා හූනියමට පොල් ගෙඩිය වළලා තිබූ බවත් මියගිය දරුවාගේ ඥාතියකු වන සිවිල් ආරක්ෂක බළකා සෙබළකු එම සිද්ධිය ඥාතින්ට දැනුම් දීමෙන් පසුව ලැබුණු පැමිණිලි මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් විවිධ පැමිණිලි අංශය පැවසුවේය.

අත්අඩංගුවටගත් 51 හැවිරිදි දෙදරු මවක වන සැකකාර කාන්තාව මාස කිහිපයකට පමණ ඉහතදී හිතවතෙකුට පොලි පදනමට රුපියල් ලක්ෂ විස්සක් ලබාදී තිබෙන අතර එම මුදල් නැවත ඉල්ලු අවස්ථාවේ ලබාදී නැති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. පොලිසියට ගොස් පැමිණිලි කිරීමට ලිඛිත සාක්ෂියක් නොමැතිවූ නිසා සැකකාරිය තලාව නගර ආසන්නයේ පිහිටි බලගතු දේවාලයක් යැයි කියන ස්ථානයකට ගොස් ගැටලුව පවසා තිබෙන අතර එම ගැටලුව හූනියමකින් විසඳිය හැකි බව කට්ටඩියා ඇයට පවසා තිබේ.

ඒ අනුව අලුතින් මියගිය අයෙකුගේ සොහොනක දින 21ක් පොල් ගෙඩියක් තැම්පත් කර තිබිය යුතු බව පවසා තිබෙන අතර පොලය මධ්‍යම රාත්‍රී 12.45ට සොහොනේ තැම්පත් කරන ලෙසත් නැවත දින 21කින් එය ගොඩට ගෙන දේවාලයට එය රැගෙන එන ලෙසත් කට්ටඩියා කාන්තාවට උපදෙස්දී තිබේ. ඇය මව සමග පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රීයේ සොහොනට ගොස් පොල් ගෙඩිය වළදමා පිටතට පැමිණෙද්දී දරුවා ගේ ඥාතියෙකු වන සිවිල් ආරක්ෂක සෙබළෙකු සුසාන භූමිය අසලින් ගමන්කර තිබෙන අතර කාන්තාව දැක මධ්‍යම රාත්‍රීයේ සොහොනේ කුමක් කරන්නේද යන්න විමසා තිබේ. නිරුත්තරවූ ඇය සිවිල් ආරක්ෂක සෙබළාට හූනියම පිළිබඳ පවසා ඇති අතර ඔහු දරුවාගේ ඥාතින්ට ඒ පිළිබඳ පැවසිමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇතිවී තිබේ.

සැකකාර කාන්තාව පැමිණිලි කරුවන්ගෙන් සමාව ඉල්ලා සිය බෑනෙකු සමඟ එක්වී නැවතත් හූනියම සඳහා වලදැමූ පොල් ගෙඩිය ගොඩ ගැනීමට ඊයේ (14) අළුයම සොහොනට ගිය අවස්ථාවේ දරුවාගේ ඥාතින් ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබෙන අතර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ මෙහෙයුම් අංශයේ නිලධාරින් එහි ගොස් සැකකරුවන් දෙදෙනා සමඟ හූනියමට යොදාගත් පොල් ගෙඩිය අත්අඩංගුවට ගෙන තිබුණි.

මියගිය අයෙකුගේ සොහොනක් හාරා අවමන් කිරීමේ චෝදනාවට සැකකරුවන් දෙදෙනා ඊයේ (14) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කේ.උදයකුමාර මහතා ඇතුළු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට භාරදී තිබුණි.

නව අදහස දක්වන්න