දෙස් විදසේ ගෞරව පුදහර මැද වජ්පායි ඉන්දියාවට සමු දෙයි | දිනමිණ

දෙස් විදසේ ගෞරව පුදහර මැද වජ්පායි ඉන්දියාවට සමු දෙයි

හිටපු ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙස් විදෙස් නායකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (17) පස්වරුවේ දිල්ලියේ රෂ්ත්‍රියා ස්ම්‍රිත්‍රි ස්තල් (Rashtriya Smriti Sthal) හි දී පැවැත්වුණි.

වජ්පායි මහතා ගේ අභාවය වෙනුවෙන් ඉන්දියාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ලොව පුරා රාජ්‍ය හා දේශපාලන නායකයෝ ශෝකය ප්‍රකාශ කරමින් සිටිතී. ඔහු ගේ අභාවය පුද්ගලික මෙන්ම පිරවිය නොහැකි අහිමි වීමක් ලෙසට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ශෝකය පළ කරමින් ට්විටර් පණිවුඩයක දැක්වේ.

තෙවතාවක් ඉන්දියාවේ අගමැති ධුරය හෙබ වූ වජ්පායි මහතා පන්ති හා කුල වශයෙන් බෙදුණු මිලියන ගණනක් වූ ඉන්දියානුවන් එක් කළ විශිෂ්ඨතම නායකයා ලෙස සැළකේ. ඔහු දැනට ඉන්දියාවේ පාලනය මෙහෙයවන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ආරම්භක සාමාජිකයකු ද වේ.

වජ්පායි 1996 - 2004 අතර කාලයේදී තුන් වතාවක් එරට අගමැතිවරයා බවට පත් වූ අතර ඉන්දියාව ලෝක න්‍යෂ්ටික බලවතකු බවට පත්කිරීමෙහි පුරෝගාමියාය.

1998 දී දෙවෙනි වරට අගමැති ධුරය දරන අවදියේදී, ලෝකය ම මවිතයට පත් කරමින් ඉන්දියාව භූගත න්‍යෂ්ටික පරීක්ෂණ මාලාවක් කළ බව නිවේදනය කළේය. 1974 න් පසු ඉන්දියාව න්‍යෂ්ටික පරීක්ෂණයක් කළ පළමු අවස්ථාව එයයි.

සිය ජාතික ආරක්ෂාව බරපතල ලෙස තකන, ජාත්‍යන්තර පීඩනයට බිය නොවූ නායකයෙකු ලෙස ඔහුගේ ප්‍රතිරූපය ඉහළ නැගීමට එය දායක වූ අතර ඉන්දියාව තුළ ඔහු වීරයකු ලෙස සැලකිණි.

 

නව අදහස දක්වන්න