තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමය සංවිධානයෙන් ඇරයුමක් | දිනමිණ

තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමය සංවිධානයෙන් ඇරයුමක්

ශ්‍රී ලංකා තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමය ඉදිරිපත් කරන ‘Kin Wild & Young Eye on Nature 2018’ යන තේමාව මූලික කරගනිමින්  චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය මෙවර සොබා දහමේ වර්ණ හා සුන්දරත්වය විදහා පෑමට සුවිශේෂී අවධානයක් යොමුකරමින් සංවිධානය කර ඇත .
 
මෙම ප්‍රදර්ශනයේ දී  ලංකා තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ හා එයට සම්බන්ධ කණිෂ්ඨ නිර්මාණ කරුවන්ගේ දක්ෂතාවයන් පිළිබිඹු කරන නිර්මාණ 200 ට අධික ප්‍රමණයක් ඉදිරිපත් කිරීමට නියමිතය .
 
ශ්‍රී ලංකා තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමය (YZA) "සොබා දහම රැකගනිමු" යන ආදර්ශ පාඨයට අනුව ක්‍රියාත්මක වන අධ්‍යාපනය මගින් පරිසරය සංරක්ෂණය සදහා කැපවුණු තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි. මෙම සංගමය ප්‍රධාන කොටම සිසු සිසුවියන් හා උපාධි අපේක්ෂකයන්ගෙන් සමන්විත වන අතර සෙසු සාමාජිකයන් තරුණ වෘත්තිකයන් සහ  වයස අවුරුදු 35ට අඩු පරිසර හිතකාමීන්ගෙන් සමන්විත වේ. 
 
දෙහිවල ජාතික සත්වෝද්‍යානය මූලික කරගනිමින් එහි ක්‍රියාත්මක වන ශ්‍රි ලංකා තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමය  මුලුමනින්ම තරුණ ස්වේච්ඡා ක්‍රියාකාරීන් මගින් ක්‍රියාත්මක වන අතර සංරක්ෂණයට අදාළ සියලු අංශයන්ගේ  අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු,ක්ෂේත්‍ර චාරිකා ,ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම සිදු කරයි. මෙහි සාමාජිකයන් හට දෙහිවල සත්වෝද්‍යානයේ දී සතුන් පිළිබඳ මනා අධ්‍යයනය සදහා නිසි වටපිටාවක් හා අවස්ථාවක් ලබා දේ. ඒ මගින් සතුන්  හා ඔවුන්ගේ  හැසිරීම් පිළිබඳ විනෝදාත්මකව සහ විද්‍යාත්මකව හැදෑරීම සදහා ඉතා දුර්ලභ අවස්ථාවක් හිමිවේ.
 
මෙම සංගමය මගින් වන ජීවී චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ කරන ලද්දේ  1990 වර්ෂයේ වන අතර එහිදී අවධානය යොමු කරන ලද්දේ සමාජිකයන්ගේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීමය. ඡායාරූප ප්‍රදර්ශනය 1991 වර්ෂයේ ආරම්භ කරන ලද අතර මෙම ප්‍රදර්ශන ද්විත්වයම ශ්‍රී ලංකවේ වන ජීවීන් හා වනජීවි සංරක්ෂණය ඉලක්ක කර ගනිමින්  අද දක්වාම වාර්ෂිකව පවත්වාගෙන එනු ලබයි.
 
"සොබා දහමේ යොවුන් ඇස' වනජීවී ඡයාරූප ප්‍රදර්ශනය හා "වන මිතුරෝ" වනජීවී චිත්‍ර ප්‍රදර්ශන ද්විත්වයම සැප්තැම්බර් මස 21 දින ප.ව.3.30 ට කොළඹ 07 ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේ  දී විවෘත වන අතර මහජන ප්‍රදර්ශනය සදහා සැප්තැම්බර් මස 22 හා23 දිනයන් හිදී පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා  විවෘතව පවතී.
 
ගාස්තු අය කිරීමකින් තොර සොබා දහමට පරිසරයට ආදරය කරන සියල්ලන්ටම කිසිඳු භේදයකින් තොරව විවෘත මෙම වටිනා අවස්ථාවට සහභාගී වී සොබා දහමේ අසිරිය විඳ ගැනීමට ශ්‍රි ලංකා තරුණ සත්ත්ව වේදීන්ගේ සංගමය ඔබ සැමට ආරාධනා කර සිටී.

නව අදහස දක්වන්න