ක්‍රිකට් ආයතනයේ මූල්‍ය මෙහෙයුම් කළමනාකරු ලබන 1තෙක් රිමාන්ඩ් | දිනමිණ

ක්‍රිකට් ආයතනයේ මූල්‍ය මෙහෙයුම් කළමනාකරු ලබන 1තෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු ව ඇතැයි කියන ඇමරිකානු ඩොලර් 187084.75ක් එනම් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා‍ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය මෙහෙයුම් කළමනාකරු ලබන මස 1 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (23) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලැබුවේ හෝමාගම, ගලවිලවත්ත පදිංචි දිසානායකලාගේ පියල් නන්දන දිසානායක යන තැනැත්තාය.

ඉකුත් (22) සැකකරුගේ බත්තරමුල්ල නිවසේ දී ඔහු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති කෝටි ගණනක වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට එහි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව රහස් පොලිසියමෙහි විමර්ශන ආරම්භ කර තිබිණ. ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනි විකාශන අයිතිය සෝනි ආයතනයට ලබා දී ඇති බවත් එය 2013 වසරේ සිට ක්‍රියාත්මක බවට පැමිණිල්ලේ සඳහන්ය.

එහි ගාස්තු අදියර තුනකින් ගෙවිය යුතු බවත් එම අදියර තුනේ දිම අදාළ ගාස්තුවලින් 50%, 30% සිය පුද්ගලික ඇමරිකානු ගිණුමට බැර කරන ලෙසට සෝනි ආයතනයට සැකකරු දැනුම් දී තිබේ. පසුගිය දා එංගලන්ත තරගාවලිය සඳහා ද සෝනි ආයතනයට 50% ක ‍මුදලක් ඇමරිකානු සිය පුද්ගලික ගිණුමේ තැන්පත් කරන ලෙසට සැකකරු සෝනි ආයතනයට දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සැක සිතුණු සෝනි ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කරන ලද දැනුම් දීම මත මෙම පැමිණිල්ල එහි ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි සිල්වා මහතා විසින් පොලිස්පතිවරයා වෙත කර තිබේ. සැකකරු මහෙස්ත්‍රාත් නිල මැදිරිය වෙත ඊයේ (23) සවස 4.40ට පමණ රහස් පොලිසිය විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු ලබන මස 1 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

සිරන්ජනි කුමාරි, රිද්මි අමෝදා
ඡායාරූපය-චමින්ද නිරෝෂණ

නව අදහස දක්වන්න