රුපියල කඩා‍ වැටුණේ පසුගිය පාලන සමයේදී | දිනමිණ

රුපියල කඩා‍ වැටුණේ පසුගිය පාලන සමයේදී

සමන්මලී ප්‍රියශාන්ති

විපක්ෂයේ අය අද චෝදනා කළත් රුපියල විශාල කඩා‍ වැටීමකට ලක් වුයේ ඔවුන්ගේ පාලන සමයේදී බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

2012 දී ඉතා කෙටි කාලයක් ඇතුළත රුපියල සියයට 14 ක් කඩා වැටුණු බවත් මේ කඩා වැටීම වැළැක්වීමට ඒ අය බිලියන 4.1 ක් වියදම් කළත් වගකිව යුතු ආණ්ඩුවක් හැටියට විදේශ සංචිතයේ තිබෙන මුදල් මේ සඳහා අනවශ්‍ය ලෙස වියදම් කිරීමට ආණ්ඩුව සුදානම් නොමැති බවත් ඇමැතිවරයා අවධාරණය කෙළේය.

රුපියල අවප්‍රමාණ වීම ඒ තරම් විශාල ප්‍රශ්නයක් නොවන බවත් ජාත්‍යන්තරයේ අනකුත් ප්‍රවණතා ස්ථාවර වෙන විට රුපියල ස්ථාවර තත්ත්වයට පත් වන බවත් පැවසූ ඇමැතිවරයා ජාත්‍යන්තර ප්‍රවණතා හේතුවෙන් ආර්ථික ගැටලු මතු වන රටවල් එක් කර ගනිමින් එම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සමුළුවක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ජී- 24 කමිටුවෙන් තමා ඉල්ලීමක් කළ බවත් පැවසීය.

ශ්‍රී ලංකාව අස්ථාවර වන්නේ රුපියල අවප්‍රමාණවීම නිසා නොව රාජපක්ෂවරු ගත් ණය නිසි වෙලාවට නොගෙවන්නේ නම් යැයි පැවසූ ඇමැතිවරයා, තමාට අවශ්‍ය වන්නේ ඊළඟ අවුරුද්ද වන විට ණය ගෙවා නිම කිරීම යැයි ද කීවේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ මුදල් අමාත්‍යංශයේ දී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙසයි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සමරවීර මහතා මෙසේ ද කීවේය.

රුපියල අවප්‍රමාණ වීම පසුගිය සතියේත් අඩුවැඩි වෙනවා අපි දැක්කා. ඒ තත්ත්වය ඉදිරියටත් ගොස් ජාත්‍යන්තරයේ ඇති අනෙකුත් ප්‍රවණතා ස්ථාවර වෙන විට ස්ථාවර තත්ත්වයට පත් වෙනවා. මෙය අලුත් දෙයක් නොවෙයි. අවප්‍රමාණ වීම හා පෙන්වන කඩාවැටීම අලුත් දෙයක් නොවෙයි. විපක්ෂයේ අය අද චෝදනා කළාට ඒ අය ඉන්න විට තමයි මීටත් වඩා විශාල කඩා වැටීමක් සිදු වුණේ. මුදල් අනවශ්‍ය ලෙස වියදම් කරනවාට වඩා මේ චෝදනා කරන රාජපක්ෂලා අපට තියලා ගිය ණය, ගිය අවුරුද්දේ, මේ අවුරුද්දේ හා ඊළඟ අවුරුද්දේ ගෙවා නිම කර දැමීම ඔක්කොටම වඩා මට වැදගත් වෙනවා. ඒ නිසා අවප්‍රමාණය කෙසේ වෙතත් ණය නොගෙව්වොත් තමයි මේ රට කඩා වැටෙන්නේ. ඒ බව අප සිහිතබා ගත යුතුයි. නමුත් අපි ණය යළි වතාවක් ලබා දීම මනා කළමනාකාරීත්වයක් අනුව කරගෙන යනවා.

චීනය සමඟ කිසිම ණය උගුලක් අද නැහැ. උගුලක් තිබුණා නම් ඒ උගුලෙන් රට බේර ගත්තේ අපේ ආණ්ඩුවයි. අපි විපක්ෂයේ ඉන්න විට විපක්ෂ නායක ලෙස වර්තමාන අගමැතිතුමා ලංකාවේ ඉදිවෙන වරාය නගරයත්, විශේෂයෙන් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙළේ. පවතින ආණ්ඩුව කිහිප වතාවක් ඒවායේ ගිවිසුම් පවා පාර්ලිමේන්තුවට සභාගත කරනවා කිව්වාට කෙළේ නැහැ. අපිට ඒ ගිවිසුම්වල තිබුණේ මොනවාද කියලා විපක්ෂය ලෙසවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙසවත් දැන ගන්නට ලැබුණේ නැහැ. විපක්ෂ නායකවරයා ලෙස එතුමාටවත් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපේ ආණ්ඩුව පත් වු විගසම මේ බොහෝ යෝජනා වසරකට විතර නවත්තලා ඒවා යළි වතාවක් අධ්‍යයනය කෙළේ. ඒවායේ රටට අවාසි කොන්දේසී සංශෝධනය කළා.

පසුගිය රජය තමයි මේ පෝට් සිටි හා දකුණේ දෙකේම රටේ භූමියෙන් කොටසක් සින්නක්කරව ම චීනයට ලබා දෙන්න කටයුතු කර තිබුණේ. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේ පෝට් සිටි ගිවිසුමේ තිබුණා චීන රජයට සින්නක්කරව දුන් ඒ භූමි ප්‍රමාණය තුළ යම් කිසි දවසක අනාගතයේදී ගංවතුරක්, සුනාමියක් වැනි ස්වභාවික විපතක් වුණොත් ඒ හානි සම්පූර්ණයෙන් ම ඒ හානි මුදල් ලංකාවේ රජය විසින් චීන රජයට ගෙවන්නත් කොන්දේසි තිබුණා. ඒ වැනි පුදුම දේවල් තිබුණා. ඒ භූමි ප්‍රමාණයේ ඉහළ අහසත් චීන ගුවන් අවකාශය ලෙසත් පිළි ගෙන තිබුණා. ගෝල්ෆේස් එකේ ඒ කොටස චීන ගුවන් අවකාශය ලෙස ලබා දෙන්න තමයි තිබුණේ. ඒ වගේම දකුණෙත් රටට අහිතකර කොන්දේසී විශාල ප්‍රමාණයකට රාජපක්ෂලා යට වුණා. නමුත් අපි සියල්ල සංශෝධනය කළා.

ඒ ඉඩම් අපි යළි ලංකාවට ලබා ගත්තා. ඒ නිසා ලංකාව චීන ණය උගුලකින් බේර ගත්තා නම් බේර ගත්තේ අපේ රජයයි. ඒ ණය උගුල චීන රජය නොවෙයි අපේ රජයයි ඇති කෙළේ. චීනයට මේක පාවා දුන්නා කියන්න බැහැ. චීනය එක්ක කාලයක් අපේ සම්බන්ධතා තිබුණා. 1950 ගණන්වල ඩී.එස්.සේනානායක අගමැතිතුමා, ආර්.ඩී.සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක මහත්වරු චීනය සමඟ සම්බන්ධතා තිබුණා. ශ්‍රීලනිපය වගේම එජාපයත් චීනය එක්ක කටයුතු කළා. අදත් ඒ මිත්‍රශීලීත්වය තිබෙනවා. අපි එක පැත්තකට වෙලා නැහැ. අපි මුළු ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා.

 

නව අදහස දක්වන්න