නාට්‍ය කරද්දි පිස්සුද ඇහුවා | දිනමිණ

නාට්‍ය කරද්දි පිස්සුද ඇහුවා

 පාසල් වේදිකාවෙන් නාට්‍ය කලාවට පිවිසි පූජන දන්දෙණිය, ප්‍රසිද්ධ වේදිකාව හා ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත් විය. මේ වනවිට ඔහු, 'සකූගේ කතාව' ටෙලි නාට්‍යයේ අරවින්ද සර්ගේ චරිතයෙන්, ෙප්‍ර්ක්ෂක අවධානයට ලක්ව සිටී.

 

සකුගේ කතාව ටෙලි නාට්‍යයේ අරවින්ද සර් අද හරි ම ජනප්‍රිය චරිතයක් නේද?

මෙහි කතා තේමාව හරිම බලවත්. ටෙලි නාට්‍යයක් ගැන මේ තරම් ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්තේ සෑහෙන කාලෙකින්. මේ ටෙලි නාට්‍යයේ මගේ රංගනය ඉස්මතු වෙන්න හේතුව, වැඩි ප්‍රේක්ෂක අවධානයට ලක් වීම හා එය මේ රටේ කතාබහට ලක්වුණ නිර්මාණයක් වීම. අරවින්ද සර්ගෙ චරිතය මිනිස්සු පුදුම විදිහට වැළඳගෙන තියෙනවා. මම හිටපු තැනෙන් මේ වගේ චරිතයකට ගෙන ආවට සහ නවකයෙක් විදහට මට මේ අවස්ථාව ලබා දීම ගැන, මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයාට මම ස්තුතිවන්ත වෙන්න ඕනැ.

මේ වනවිටත් නිර්මාණ බොහොමයකටම දායක වෙලා තිබෙන ඔබ, තවමත් නවකයෙක් විදිහටයි හඳුන්වන්නේ?

මේ ක්ෂේත්‍රයේ, නවකයාද? නැද්ද? කියලා තීරණය කරන තැනටයි මම කැමැති නැත්තෙ. උදාහරණයක් විදිහට ප්‍රසිද්ධ වෙලා කොච්චර කල්ද කියන එක මතයි නවකයාද? නැද්ද? කියලා තීරණය වෙන්නෙ. මම නවකයෙක් කිව්වෙ, මම ප්‍රසිද්ධ මාධ්‍යයට නවකයෙක් නිසයි.

ඔබ, ඔබ තූළ සිටින රංගන ශිල්පියා හඳුනා ගන්නේ කොහොමද?

මගේ ගම අනුරාධපුරයෙ මැදවච්චිය. මම පාසල් යන කාලෙ ඉඳන් මේ විෂයය තුළ හිටියා. පාසලේ තියෙන හැම නාට්‍යයකටම ඉදිරිපත් වෙන උණක් මට තිබුණා. පොඩි කාලෙ ඉඳන් ම මම දෙයකට ඉදිරිපත් වුණොත්, මං ඒකට තේරුණා. ඒ නිසා මම, මේ ක්ෂේත්‍රයට කැමැත්තක් දැක්වූවා. මම පහ වසරෙදි මගේ පියා

මැදව්චචිය ජාතික පාසලේ හිටිය නාට්‍ය කලා ගුරුතුමා වන සමන් පුෂ්ප කුමාර මහතාට මා බාර දුන්නා. එතුමා චිත්‍ර ගුරුවරයෙක්. ඒත් ඔහු, නාට්‍ය කලාව ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. එතුමගෙ ළමා නාට්‍යවල මම රඟපෑවා. මුලින් ම ජාතික රූපවාහිනියට පය තියන්නෙ, සමන් පුෂ්පකුමාර ගුරුතුමා කරපු නාට්‍යයක් රූගත කිරීමකදියි.

ඔබ විෂයයක් ලෙස නාට්‍ය හා රංග කලාව හැදෑරීම පටන් ගත්තේ පාසල් වියේදිමද?

මම මුලික අධ්‍යාපනය ලැබුවෙ මැදවච්චිය මහා විද්‍යාලයෙන්. හය වසරෙ ඉඳන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතූළු වුණා. සාමාන්‍ය පෙළ කරද්දි අපට දෙන හැම විෂයයක්ම කරන්න වෙනවනෙ. ඒ නිසා, පාසලේ සාමාන්‍ය පෙළට තිබුණු විෂයයත් ටික කළා. උසස් පෙළට තෝර ගනිද්දි, තෝර ගන්නෙ මොන විෂයයද කියන එක මට ප්‍රශ්නයක් වුණා. ඒ වෙද්දි පාසල තුළ නාට්‍ය හා රංග කලාව කියලා විෂයයක් විදිහට තෝර ගන්න පුළුවන් කියන එක මම දැනගෙන හිටියෙ නැහැ. යාළුවො හැමෝම වාණිජ විෂයයන් තෝර ගත්ත නිසා, මමත් වාණිජ විෂයයන් කළා. ඒ පළමු වතාව. හැබැයි දෙවැනි වතාවේ උසස් පෙළ විභාගයට පෙනී සිටිද්දි, කලා විෂය ධාරාවෙන් නාට්‍ය හා රංග කලාවත් විෂයක් විදිහට තෝරගෙන කළා.

ඊට පස්සේ මමඋතුරු මැද පළාත් කලා උළෙල, යෞවන සම්මාන උළෙලෙ, රාජ්‍ය නාට්‍ය උළෙල, මේ හැම එකකටම ඉදිරිපත් කළ නාට්‍යවල වැඩ කළා. ඒ කාලෙ අපි යාළුවො එකතු වෙලා, අවුරුද්දකට නාට්‍ය තුන හතරක්වත් කළා. වෙනත් ක්ෂේත්‍රවලට පිවිසෙන්න, යා යුතු මාවතක් තියෙනවා. ශ්‍රී ලංකාවේ නළුවාට, ප්‍රමිතිකරණයක් නැහැ. නළුවෙක් විදිහට කළයුතු කොටසකුත් නැහැ. නළුවෙක් වෙන්න ඉගෙන ගන්න තැනකුත් නැහැනෙ. නළුවෙක් වෙන්න නම්, මොනවද කරන්න ඕනෙ කියලා අපි දන්නෙත් නැහැ. ඒත්, මම විෂය ඇතුළෙ වැඩ කළා. වැඩ කරමින් ඉගෙන ගත්තා. මම මේ විෂයට ආදරය කළා. නළුකම කියන පැළය නඩත්තු කරලා, බලා ගත්තා. දැන් ඒකේ ගෙඩියක් දෙකක් එන්න පටන් අරන්.

මේ දක්වා පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බලන විට, ඔබ සෑහීමකට පත් වෙනවද?

ශ්‍රී ලංකාවේ මොන ක්ෂේත්‍රයක් තෝරා ගත්තත්, ඒ ගමන සුන්දර නැහැ. මේ ක්‍රමය හැදිලා තියෙන්නෙ ඒ විදිහට. උඹලා අමාරුවෙන් වරෙල්ලා. ඉතිරි ටික අපි බලා ගන්නං කියනවා වගේ වැඩක් තමයි මේ. මේ විෂය තෝරා ගැනීමේදි, මට ගෙදරින් නම් කිසි ම බලපෑමක් තිබුණෙ නැහැ. ඒ අය නිසයි අද මම මෙතැන ඉන්නෙ. හැබැයි ගුරුවරු කිව්වෙ, උඹලට පිස්සුද නාට්‍ය කර කරා ඉන්නෙ? ඉගෙන ගනිල්ලා කියලයි. මේ ලෝකය සමබර වෙන්න එපායැ . හැම තැනකම ඉංජිනේරුවො, බැංකු කළමනාකාරවරු, ගුරුවරු වගේ වෘත්තීන් ටිකක් විතරක් තිබුණොත්, ජනතාවට විනෝදාස්වාදය සපයන්න පිරිසක් කෝ? අපට පැවරිලා තියෙන්නෙ විනෝදාස්වාදය පැත්ත. සල්ලි හොයලා හොයලා විවේකයක් ලැබුණහම, මිනිස්සු හොයන්නෙ විනොදස්වාදය. ඒ විනෝදාස්වාදය සැපයීම තමයි අපි කරන්නෙ. ශ්‍රී ලංකාවේ අද ‍විනෝදාස්වාදය තියෙන්නෙ, වළඳෙ අඩියෙ තියෙන දෙයක් හූරගෙන කන තැනක. අතිරික්තයක් ඉතිරි වුණොත් විතරයි, නිර්මාණයක් විඳින්න එන්නෙ. මේ ක්‍රමය ඇතුළෙ විනෝදාස්වාදය කියන එක වහලා තියෙන්නෙ. ඒ නිසා, ශ්‍රී ලංකාවේ විනෝදාස්වාදය සපයන අයට මුදල් එන්නෙ නැහැ . මේ දේ ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් නෙමෙයි . රටේම තියෙන ප්‍රශ්නයක්.

මම මෙහෙම අහන්න කැමතියි. කෙනෙක් මහන්සි වෙලා, අමාරුවෙන් , සමාජය බලාපොරොත්තු වුණ වෛද්‍ය වෘත්තිය වගේ තැනකට ගියා කියමුකො. දැන් ඒ අය සතුටින්ද ඉන්නෙ? කවදද හිනාවෙලා සතුටින් ලෙඩෙකුට බෙහෙත් දුන්නෙ? ගමනේ අරමුණට ආවා නම්, ඇයි මේ තරම් වැඩ කරන්නෙ? මේ රට ඇතුළෙ කිසි ම කෙනකුට , කිසි ම දේකින් සෑහීමකට පත්වෙන්න බැහැ. පවත්නා මේ ක්‍රමය ඇතුළෙ කවුරුවත් තෘප්තිමත් නැහැ. මම මගේ තෘප්තිය කියලා විශ්වාස කරන්නෙ, මට කැමැති දේ කිරීම හා මම කැමැති ම දේ කරමින් එයින් ඉපැයීමයි. අද මම මට කැමැති දේ කරනවා. එයින් උපයනව.

සිනමාව තුළ ඔබට ලැබුණු අවස්ථා, ටෙලි හා වේදිකාව යන මාධ්‍ය දෙකට සාපේක්ෂව අඩුයි නේද?

මුලින් ම මා චිත්‍රපටයකට සම්බන්ධ කර ගත්තෙ, ප්‍රියන්ත කොළඹගේ මහත්මයා. ඒක සුළු චරිතයක් . සිනමාවට තියෙන කැමැත්තත් එක්ක මම ඒකට ගියා. එයින් පසු මට කිසි ම සිනමා නිර්මාණයකට ඇරියුම් ලැබිලා නැහැ . මම විතරක් නෙමෙයි, මේ කෂේත්‍රයට එන ඕනැම කෙනෙක්ගෙ හීනයක් තමයි, සිනමා නිර්මාණයක්, හොඳ වේදිකා නාට්‍යයක් කරන එක. ටෙලි නාට්‍ය කියන්නෙ අතරමැදි කලාවක්නෙ. මම දකින්නෙ, ටෙලි නාට්‍ය කියන්නේ, ඉක්මනින් ම මිනිසුන් අතරට යන්න පුළුවන් මාධ්‍යයක් විදිහටයි. එයින් කියැවෙන්නේ, ටෙලි නාට්‍ය වැදගත් නෑ කියන එක නෙමෙයි. ටෙලි නාට්‍ය තුළත්, අපි පසුගිය කාලයෙ ඉතා හොඳ නිර්මාණ දැක්කා .

ඔබ කිසියම් තෝරා බේරා ගැනීමක් කරන නළුවෙක්ද?

නැහැ . ඒකට හේතුවක් තියෙනවා. මම දැන් හිතුවොත් මම කරන්නෙ මේ වගේ වැඩ කියලා, ඒත්, ඉදිරියේ මොන වගේ දේ කරන්න වෙයිද කියලා මම දන්නෙ නැහැනෙ. මම ජීවත් වෙන්නෙ මේ මොහොතේ යි . මට මේ මොහොතේ මොනවද ලැබෙන්නෙ, ඒක ඇතුළෙ මට මොන තරම් ගනුදෙනුවක් කරන්න පුළුවන්ද කියලයි මම බලන්නෙ. නිර්මාණය හොඳද? නැද්ද? කියන එකට වැඩිය, මට මොන තරම් අවංකව මේ වැඩේ කරන්න පුළුවන්ද? නැද්ද? කියන එකයි වැදගත්. මට එහෙම වර්ග කිරීම් නැහැ.

නළුවෙක් විදිහට විඳින්නට හා විඳිමින් ඉගෙන ගන්න තෝරා ගත් තැන් මොනවද?

චිත්‍රපටයක් බලද්දි, චිත්‍රපටයටත් වැඩිය එහි හොඳට රංගනයෙහි යෙදෙන කෙනෙක් ඉන්නවා නම්, මම ඉන්නෙ ඔහු එක්කයි. මම රංගනයට කැමැති, ඒක මගේ විෂය නිසයි. ප්‍රබල රංගවේදියො බිහි වෙන්න බිහි වෙන්න, අපත් පෝෂණය වෙනවා. උදාහරණයක් විදිහට, සකූගේ කතාවේ ශිල්පීන් කණ්ඩායම ගන්න පුළුවන්. එවැනි පිරිසක් එක්ක රඟපාද්දි මට ලැබෙන්නෙ, පුදුමාකාර අභිප්‍රේරණයක්. මම බොහෝ නළු නිළියන්ගෙ රංගනය විඳලා තියෙනවා සහ විඳිනවා.

ඔබේ පවුල් පරිසරය ගැනත් කතා කරමු නේද?

අපේ අම්මයි, තාත්තයි ව්‍යාපාරිකයො. හැබැයි අපේ අම්මා ඉගෙන ගන්න කටයුතුවලට වගේ ම, කියැවීමට ළැදියි. පොඩි කාලෙ ඉඳන් අම්මා අපට පොත් අරන් දුන්නා. අප කිසි ම විෂයයකට කොටු කළේ නැහැ. ඒ නිසා මම, නිදහසේ හැදුණා . අදටත් මම ජීවත් වෙන්නෙ නිදහසේ. මගේ බිරියගෙනුත් මට එහෙම නීති රීති නැහැ. අපි ජීවිතයේ වැඩි වෙලාවක් රඟපෑම් එක්කනෙ ඉන්නෙ. ආපහු මට ගෙදර ඇවිත්, යාළුවො ඉදිරියෙ රඟපෑම් කරන්න බැහැ. බොහෝ වෙලාවට මම මං විදිහට ජීවත් වෙනවා.

ධම්මිකා සුරංජි පති­රණ

නව අදහස දක්වන්න