උද­රය රෝගී ‍නොවෙන්න නම් | දිනමිණ

උද­රය රෝගී ‍නොවෙන්න නම්

නාසය පිනවන, දිව රස ගුලාවක ගිල්වන ආහාර පානවලින් උත්සව මේසය පිරී යද්දී, පාලනයක් නැති සිත නිසා, උදරයේ අඟලක් නෑරම පිරී යයි. ඒ නිසා ම, මේ කාලයේදී ආමාශ දාහය, උදරයෙන් උගුරට වාතය ඒම, උදර වේදනාව හා අ‍ජීර්ණ ලක්ෂණ බොහොමයක් අත්දකින්න ලැබෙයි.

බ්‍රිතාන්‍ය පෝෂණවේදිනී මාර්තා අන්හෙලුෂ්, නත්තල් හා උත්සව සමයේ වැඩි දෙනකුගේ උදරය රෝගී කරන, වැරැදි ආහාර පුරුදු කිහිපයක් දක්වා ඇත.

• කෑම සමඟ ජලය වැඩිපුර පානය කිරීම

අපේ ආමාශයේ ඇති අම්ලය, ආහාර ජීර්ණයේදී වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. වැඩි දෙනෙක්, ආමාශ අම්ල අධිකව ඇති බව සිතා සිටිය ද, බොහෝ දෙනකුට ඇති තරම් ආමාශ අම්ලය නැත. පමණට වඩා ආහාර අතරේ, ජලය පානය කිරීමෙන්, තිබෙන ආමාශ අම්ලත් තනුක වෙයි. එහි ප්‍රතිඵලය නිසි ලෙස ආහාර ජීර්ණය නොවීමයි.

මාර්තා පෝෂණවේදිනියට අනුව, තිත්ත ආහාර, ආමාශ යුෂ ස්‍රාවය උත්තේජනය කරයි. අහිතකර මේදය උරා ගනී. ඒ නිසා, ලුණු, තෙල්, සීනි අධික ආහාර ඇති මෙවන් කාලයක, තිත්ත ආහාරවලට ප්‍රමුඛතාවක් දීම වැදගත් ය. කසට ආහාර ද, අම්ල ගතිය වැඩි කරයි.

• වේගයෙන් ආහාර ගැනීම

කාර්ය බහුල ජීවන රටාවක් ගත කරද්දී, බහුතරයක් දෙනා උදේ ආහාරය ගන්නේ, කාර්යාලයට යන අතරමඟ වාහනයේදී ය. තවත් අය කෑම පිඟාන රැගෙන වාඩි වෙන්නේ, රූපවාහිනිය ඉදිරියෙනි. මේසයක වාඩි වී සැනසිලිසහගත මනසකින් ආහාර නොගෙන, යන්ත්‍රානුසාරයෙන් ආහාර ගනිද්දී, මොළයට උදරයෙන් යැවෙන්නේ වැරැදි පණිවිඩයකි. එවිට ආමාශයෙන්, ආහාර ජීර්ණයට ආමාශයික යුෂ වැඩිපුර ස්‍රාවය වනවා වෙනුවට, වැඩිපුර ස්‍රාවය වන්නේ ආතති හෝර්මෝන ය. ප්‍රතිඵලය, ආහාර හොඳින් ජීර්ණය නොවීම නිසා, වාතය පිරීම, වාතය පිටවීම, මළ බුරුලට යාම වැනි ලකුණු ඇතිවීම ය. උත්සව සමයේ වුව ද සාමකාමී මනසකින් කෑම ගැනීම, මේ නිසා ඉතා වැදගත් ය.

ආහාර ගැනීමට පෙර, කීප වරක් ගැඹුරින් හුස්මක් ගන්න. ආහාර පිඟානේ ඇති ආහාරවල පෙනුම, සුවඳ රස විඳින්න. එවිට මොළයට 'ආහාර ගැනීමට සුදානම්' යන පණිවිඩ ගොස්, ජීර්ණය යුෂ මනා ලෙස ස්‍රාවය වී, ජීර්ණය හොඳින් සිදු වේ.

• අධික සීනි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්

පැණි රස ආහාරවලට, සකස් කළ ආහාරවලට, අපේ දිවේ වැඩි තැනක් හිමි වී තිබේ. එය එසේ වුව ද , ඉන් සිදු වන‍්නේ, උදරයේ අහිතකර බැක්ටීරියා වැඩිපුර වර්ධනය වීම ය. මේ බැක්ටීරියා ආහාර සමඟ මුහු වී, කුඩා බඩවැලේ වාතය බොහෝ සෙයින් නිපදවයි. වාතයෙන් ඇතිවන පීඩනය නිසා, ආමාශ දාහය, උදර වේදනාව ඇති වේ. එයින් අජීර්ණයට මඟ පෑදෙයි. මෙවැනි අයට, ප්‍රෝබයොටික්ස් අඩංගු යෝගට් වැනි ආහාර කදිම ය. අජීර්ණයක් ඇතිවිට, මෙවැනි ප්‍රෝබයොටික් අඩංගු ආහාර ගැනීමෙන්, හිතකර බැක්ටීරියා වර්ධනය වෙයි.

• ප්‍රමාද වී ආහාර ගැනීම

අන් අයට රස පිරි ආහාර සූදානම් කරද්දී, තමන්ගේ ආහාර වේල ප්‍රමාද වීම ද සුලබ අත්දැකීමකි. විශේෂයෙන් රාත්‍රී ආහාරය ප්‍රමාද වී ගෙන, එසැණින් නින්දට යාමෙන් , ජීර්ණය නිසි ලෙස සිදු නොවේ. රාත්‍රී කෑමෙන් පැය තුනකටවත් පසු කෙනෙක් නින්දට යා යුතු ය.

• ප්‍රධාන ආහාර වේල් අතර ගන්නා අතුරුපස

කෑම කටට දෙකට ගත්ත ද, ජීර්ණ ක්‍රියාවලිය විනාඩියට දෙකට අවසන් වන්නක් නොවේ. ඒ සඳහා පැය අටක තරම්වත් දිගු කාලයක් ගතවේ. ඒ නිසා, ප්‍රධාන ආහාර වේල් අතර දිගු කාල පරතරයක් තිබීම ද, ඒ අතර කිසිදු අතුරුපසක් නොගැනීම ද වැදගත් වේ. එවිට ආහාර නිසි ලෙස දිරවීමත්, පෝෂක නිසි පරිදි උරා ගැනීමත් සිදු වේ.

• කතා කරමින් කෑම ගැනීම

කාර්යාලයේදී හෝ නිවෙසේදී, ආතතිය ගෙන දෙන කරුණු කතාබහ කරමින්, ආහාර නොගත යුතු ය. එහෙත්, සුහද කතාබහක යෙදෙමින්, හොඳින් සපමින් ආහාර ගැනීම, යහපත් පුරුද්දකි. ආහාර ගැනීම සමාජ ක්‍රියාකාරිත්වයකි. ඒ නිසා, මිතුරු සමාගමක ආහාර ගැනීම වඩාත් සුදුසු ය.

• හොඳින් සපන්නේ නැතිව ආහාර ගැනීම

ආහාර හොඳින් සපා, කෑමට ගත යුතු ය. පනස් වරක් වත් ආහාර සැපීමට හැකි නම් කදිම ය. ජීර්ණය හොඳින් සිදු වන්නේ, ආහාර සපන තරමට ය.

අන්තර්ජාලය ඇසුරිනි

චම්පිකා දීපානි රණසිංහ

නව අදහස දක්වන්න