ජීවිත දහස් ගණනක් බිළිගත් 2004 සුනාමිය | දිනමිණ

ජීවිත දහස් ගණනක් බිළිගත් 2004 සුනාමිය

ජාතික ආරක්ෂිත දිනය අදට යෙදී තිබේ.

මෙම දිනය සැමරෙන්නේ, 2004 වසරේ දෙසැම්බර් මස අද වැනි දිනක සිදු වූ සුනාමි ව්‍යසනය සිහිපත් කරමිනි.

සුනාමිය ඇතුළු සියලු ස්වභාවික ආපදාවලින් මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ය.

අදින් 14 වසරකට පෙර ඉන්දුනීසියාවේ සුමත්‍රා මුහුදේ සිදු වූ ප්‍රබල භූකම්පනයෙන් පසු විනාඩි කිහිපයකට පසු ඇති වූ ප්‍රචණ්ඩ රළ 30,000කට අධික ජීවිත සංඛ්‍යාවක් බිළි ගත්තේ ය.

ප්‍රචණ්ඩ මුහුදු රළෙහි සුන්බුන් අතර ලොව විශාලතම දුම්රිය අනතුර ද දැක ගත හැකි විය.

පැරෑලිය දුම්රිය ස්ථානය සමීපයේ සුනාමියට බිළි ගත් මෙම දුම්රිය තුළ සිටි 1270කට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූහ.

ඒ තුළ සිටි 141 දෙනෙකු තවමත් අතුරුදන්.

2004 සුනාමිය

2004 ඉන්දියානු සාගරීය භූකම්පනය දෙසැම්බර් 26වන දා UTC (සමායෝත සාර්වත්‍ර වේලාව) 00:58:53 ට, ඉන්දුනීසියාවේ සුමාත්‍රා වෙරළට බටහිරින් අපිකේන්ද්‍රගත ව, 9.1ත් 9.3ත් අතර ඝූර්ණ පරිමාණයක් සහිත ව, XI වූ මර්කාලි තීව්‍රතා අගයක් (ප්‍රචණ්ඩ) හට ගත්තේය.

එය බුරුම භූ තැටියත් ඉන්දියානු භූ තැටියත් අතර පිහිටි පැල්මේ උත්ප්‍රේරණය වූ දැවැන්ත භූ තෙරපුම නිසා ඇති වූ මුහුදු අභ්‍යන්තර භූකම්පනයකි. ඉන් 30m (100ft) පමණ උස, ඉන්දියානු සාගරීය වෙරළාසන්න ප්‍රදේශ යට කළ, රටවල් 14ක ආසන්න වශයෙන් 227,898කගේ ජීවිත බිලිගත් විනාශකාරී සුනාමි රළ පෙළක් ඇති විය.

එය දැනට වාර්තා වී ඇති ස්වාභාවික විපත්වලින් දරුණුතම විපතක් වූ අතර 21වන සියවසේ දැනට වාර්තා වී ඇති දරුණුතම විපත යි. ඉන් වැඩි ම හානියක් සිදු වූයේ ඉන්දුනීසියාවට, හා ඉන් පසු ශ්‍රී ලංකාවට, ඉන්දියාවට හා තායිලන්තයට යි.


භූ කම්පනයෙන් නිර්මාණය වූ සුනාමි රළ පහරට ගොදුරුව විපතට පත්වූ ජනයාගේ දුක්ඛිත තත්වය ලොව පුරා ප්‍රජාව අතර කම්පනයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, වේගවත් මානුෂීය ආධාර හා ප්‍රතිචාර රැසක් එම හානියට පත්වූ රටවල් වෙත කඩිනමින් ලබාදීමට අනෙකුත් රටවල් විසින් පියවර ගනු ලැබිණි.

ඒ අනූව ලෝක ප්‍රජාව විසින් අමෙරිකා ඩොලර් බිලියන 14 (2004) කට වඩා වැඩි සමස්ථ මානුෂීය අාධාර ප්‍රමාණයක් සුනාමියෙන් හානියට ලක්වූ රටවල් වෙත ලබා දෙමින් සිය සහයෝගය ලබා දීමට කටයුතු කොට තිබුණි.

මෙම භූ කම්පනය හේතුවෙන් හටගත් සුනාමි රළ පසුව විවිධ නම් වලින් හැඳින්වූ අතර, ඉන් 2004 ඉන්දීය සාගර සුනාමිය, දකුණු අාසියානු සුනාමිය, ඉන්දුනීසියානු සුනාමිය, නත්තල් සුනාමිය හා බොක්සින් දින සුනාමිය වැනි නම් ලොව පුරා වඩා ප්‍රචලිත විය.

මෙම භූකම්පනය සිස්මෝග්‍රාෆ්හී (seismograph) සටහන් වී ඇති තෙවැනි විශාලතම භූකම්පනය වන අතර මෙතෙක් නිරික්ෂණය කෙරූ දිගුම විභේදනය (faulting) සිදුවූ කාලයද (මිනිත්තු 8.3 - 10 අතර) මෙම භූමිකම්පාවේදී සටහන් විය.

එසේම සමස්ථ පෘතුවි තලය සෙන්ටිමීටර 1ක පමණ ප්‍රමාණයකින් කම්පනය කිරීමට මෙම භූමි කම්පාව සමත් වූ අතර ඇලස්කාව වැනි ඉතා ඈත ප්‍රදේශවල අනෙකුත් භූකම්පන ඇති කරවීමටද එය සමත් විය.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය Simeulue දිවයින සහ ඉන්දුනීසියා ප්‍රධාන භූමිය අතර හටගෙන තිබුණි.

නව අදහස දක්වන්න