අධික රශ්මියට හෙම්බත්වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9ක් | දිනමිණ

අධික රශ්මියට හෙම්බත්වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9ක්

ප්‍රින්ස් ගුණසේකර

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉලක්ක කොට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති අවසන් තේරීම් තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් ආසියානු පරිසාධන මට්ටම පසුකරමින් කෙළින්ම තරගාවලියට සුදුසුකම් ලැබූ අතර තවත් 5ක් ආසියානු පරිසාධන මට්ටම ආසන්නයේ පසුවෙති. ආසියානු මලල ක්‍රීඩා හූරතාවලිය දෝහා කටාර් හීදී ලබන මස 21වැනිදා සිට පැවැත්වේ.

ඊයේ කොළඹ පැවැති කාලගුණික තත්ත්වය අනුව ආර්ධතාව සියයට 54ක් වූ අතර මේ හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෑම ඉසව්වකදීම දැඩි වෙහෙසකර තත්ත්වයකින් පසුවූහ.

මීටර් 100 පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ හිමාෂ ඒෂාන් (තත්. 10. 22) හා දෙවැනි තැනට හොඳම කාලය වාර්තා කළ සුරන්ජය ද සිල්වා (10. 27) තුම් පිම්ම පිරිමි තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ යුද හමුදාවේ ග්‍රේෂන් දයානන්ද (මීටර් 16. 71) හා මීටර් 3000 කාන්තා බාධක දිවීමේ තරගයේ පළමු තැනට පත්වූ යුද හමුදාවේ නිලානී රත්නායක (වි. 9: 55.15), මීටර් 800 කාන්තා ඉසව්වේ පළමු හා දෙවැනි තැනට පත්වූ නිමාලී ලියනාරච්චි (2: 02. 65) හා ගයන්තිකා අබේරත්න (වි. 2: 03. 62), දුර පැනීම පිරිමි ඉසව්වේ පළමු හා දෙවැනි තැනට පත්වූ ධනුෂ්ක සඳරුවන් පියරත්න (මී. 7. 95) හා ජනක විමලසිරි (මී. 7. 83) හා හෙල්ල විසි කිරීමේ ප්‍රථම ස්ථානයට පත්වූ යුද හමුදාවේ සුමිත් රණසිංහ ( මී. 79. 65) ආසියානු පරිසාධන මට්ටම පසු කළහ.

මීටර් 800 පිරිමි තරගයේදී ප්‍රථම ස්ථානයට පත්වූ යුද හමුදාවේ රුසිරු චතුරංග ( වි. 1: 48. 10), මීටර් 400 කාන්තා ඉසව්වේ පළමු ස්ථානයට පත්වූ යුද හමුදාවේ ආර්. නදීෂා (තත්. 53.47), මීටර් 1500 පිරිමි ඉසව්වේ පළමු තරනට පත්වූ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමයේ හේමන්ත කුමාර (වි. 3: 45. 48), තුම්පිම්ම කාන්තා ඉසව්වේ පළමු ස්ථානයට පත්වූ යුද හමුදාවේ විදූෂා ලක්ෂාණී (මී. 13. 26) හා මීටර් 400 පිරිමි ඉසව්වේ පළමු ස්ථානයට පත්වූ යුද හමුදාවේ ජී. ඒ. ප්‍රේමකුමාර ( තත්. 46. 52)ආසියානු පරිසාධන මට්ටම ආසන්නයට පැමිණියහ.

නව අදහස දක්වන්න