බැංගලෝර් පිලට සැනසිලිදායක ජයක් | දිනමිණ

බැංගලෝර් පිලට සැනසිලිදායක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගය ලෙසින් කිංග්ස් ලෙවන් පන්ජාබ් පිල ලකුණු 17ක පරාජයකට ඇද දැමූ විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් ක්‍රීඩකයෝ මෙවර තරග වාරයේ සිව්වැනි ජයග්‍රහණය වාර්තා කළහ.

ආරම්භයේ සිට තරග වැදුණු පළමු තරග 7 ම පරාජයට පත්වුණු බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවිය. මෙවර තරගාවලිය යටතේ තරග වැදි 11 වැනි තරගය බවට පත්වූ මේ තරගයේදී ලද ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිලට අවස්ථාව උදාවිය. ජයග්‍රහණය සඳහා ලකුණු 203ක දැවැන්ත ඉලක්කයක් පන්ජාබ් පිල හමුවේ ලබාදීමට බැංගලෝර් රෝයල් පිල සමත් වූ අතර එය හඹා යෑමේදී කිංග්ස් ලෙවන් පන්ජාබ් පිලට නියමිත ඕවරර 20 අවසනදී කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 185ක් පමණි.

කිංග්ස් ලෙවන් පන්ජාබ් පිල වෙනුවෙන් ලෝකේෂ් රාහුල් පන්දු 27කදී ලකුණු 42ක් රැස් කළද එය ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් නොවීය. කිංග්ස් ලෙවන් පන්ජාබ් පිල වෙනුවෙන් ඉනිම ඇරැඹි ක්‍රිස් ගේල් පන්දු 10කදී ලකුණු 23ක් රැස් කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලෝකේෂ් රාහුල් සමඟ පන්දු 20කදී වේගවත් ලකුණු 42ක් රැස් කළහ. බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල වෙනුවෙන් ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 44කදී හතරේ පහර 3ක් සහ හයේ පහර හතක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා ගත්තේය. 19 වැනි ඕවර යැවූ මොහොමඩ් ශාමීගේ පන්දු 3කට පිට පිටම එල්ල කරන ලද හයේ පහරත් සමඟ ලකුණු 200 සීමාව ඉක්මවාලීමේ අවස්ථාව බැංගලෝර් පිලට උදාවිය.

බැංගලෝර් - 202/4යි. (ඕවර 20) ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 82, මාකස් ස්ටොනිස් නොදැවී 46, පාර්තිව් පටෙල් 43

පන්ජාබ් - 185/7යි. (‍ඕවර 20) නිකලස් පර්න් 46, ලෝකේෂ් රාහුල් 42, මයාන්ක් අගර්වර් 35 (උමේෂ් යාදව් 36/3)

නව අදහස දක්වන්න