ප්‍රහාරයට ප්‍රේමයෙන් පිළිතුරු දුන් කිතුනු ප්‍රජාව | දිනමිණ

ප්‍රහාරයට ප්‍රේමයෙන් පිළිතුරු දුන් කිතුනු ප්‍රජාව

මෙය ඉතාම ඛේදජනක අවස්ථාවක් වුවද, වාවාගත නොහැකි අවස්ථාවක් වුවද ඒ සියල්ලටම වඩා කිතුනුකම පෙරට ගෙන කටයුතු කරන්නට සිය ජනතාව මෙහෙයවීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඇතුළු පූජක පැවිදි පියතුමන්ලා කටයුතු කළ බව කිවයුතුය. මේ අවස්ථාවේ අප කටයුතු කළයුතු වන්නේ හදවතින් නොව බුද්ධියෙන් බව අපගේ ජනතාවට පැහැදිලි කර දීම අපහසු නොවීය.

කිතුනුවන්ගේ උත්තරීතර මංගල්‍යය වන්නේ පාස්කු මංගල්‍යයය. මරණය පරදා උත්ථානයේ විජයග්‍රහණය සමරන ඒ දිනය වෙනුවෙන් කිතුනු බැතිමත්හු දින හතළිහක් තිස්සේ සූදානම් වූහ. විවිධ වත්පිළිවෙත් පිළිපදිමින්, මර්දන ක්‍රියා කරමින් පාස්කු ඉරිදාව සැමරීමට, එනම් මරණය පරදා ජේසුතුමාගේ උත්ථානය සමරන්නට සූදානම් වූ මිනිසුන්ට මරණයේ අත්දැකීමට මුහුණ දීමට සිදුවීම, වාවාගත නොහැකි ඛේදවාචකයකි. කිතුනු ප්‍රජාවටම මහත් වේදනාවකි. එහෙත් මෙවැනි විනාශකාරී සිදුවීම්, කිතුනුවන්ට අලුත් අත්දැකීම් නොවේ. අපි ඉතිහාසයේ සිටම මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දුන්නෙමු. ලංකාවේ මෙන්ම ලෝකයේම කිතුනුවන් මෙවැනි සංහාරයන්ට මුහුණ දුන් බව නොරහසකි. අතීතයේ සිට මේ දක්වා වූ බිහිසුණු ව්‍යසනවලට මුහුණ දුන්නත්, කිතුනුවන් සිය විශ්වාසයෙන් කෙදිනකවත් නොමිදුණු බවද මෙහිදී සිහි කළ යුතුය. මේ වන විට එකම පවුලේ හයහත්දෙනා මිය ගියද ඔවුන්ගේ ඥාතීන් හෝ සිය විශ්වාසයන් අත්හැර නැත. එබැවින් බෝම්බ ගසා කිතුනුවන් වැනසීම කිසිවකුගේ අබිමතය පරිදි සිදුනොවන බවද මෙහිදී කිව යුතුය.

ජේසුතුමා උපදින්නෙත් භීෂණ යුගයකය. එතුමාගේ උපත ගැන දැනගන්නා හෙරොද් රජු ළදරු සංහාරයකට නියෝග දුන්නේය. එහිදී ළඳරුවෝ විශාල සංඛ්‍යාවක් මිය ගියහ. එවැනි පසුබිමක උපදින ජේසුතුමාගේ මරණය සිදුවන්නෙත් ඛේදවාචයකිනි. වරෙක ජේසුතුමා මෙසේ පැවසීය. “යමෙක් මා අනුව එන්නට කැමැත්තේද, තමකම නසා කුරුසිය දරා මා අනුව ඒවා.” එනම් යමකු ජේසු අනුගමනය කළ යුත්තේ ආත්මාර්ථය නසාගෙනය. උන්වහන්සේ තවත් වරෙක මෙසේද කීහ. “වෙහෙසෙන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න.” කන්ද උඩ දේශනාවේදී එතුමා පවසන්නේ දුක්විඳින ඔබ භාග්‍යවන්ත බවය. එබැවින් කිතුනුවා විඳින දුක, වේදනාව සහ කඳුළට අර්ථකථනයක් තිබේ. ඒ අර්ථකථනයෙන් හා හැඟීමෙන් සන්නද්ධ වෙන කිතුනුවාගේ ජීවිතය තුළ ප්‍රබල හර පද්ධතියක් තිබේ. ජේසුතුමාගේ ගෝලයන්ගෙන් ජුවාම් ගෝලයා හැර අනෙක් සියලු ගෝලයෝ ඝාතනයට ලක්වූහ. එබැවින් මේ ප්‍රාණ පරිත්‍යාගය සිදුවූයේ අද ඊයෙක සිට නොවේ. කිතුනුවා කිතුනුකම තුළ වැඩෙන්නේ මේ දීර්ඝ ඉතිහාසය සමඟය.

මෙකී දුක්ඛදායක අත්දැකීම්, තුළ කිතුනුවා නොසැලෙන බව ස්ථිරය. එහෙත් මනුෂ්‍යයන් ලෙස ඔවුන්ට යම් යම් ගැටලු, ප්‍රශ්නද නොතිබුණා නොවේ. කෙසේවුවද, මෙවැනි අත්දැකීමකට මෑත කාලයේදී අප මුහුණ දුන්නේ නැත. මෙවැනි ම්ලේච්ඡ ඝාතනයක් කිසිවකු බලාපොරොත්තු නොවූ එකකි. පන්සල, පල්ලිය, කෝවිල හෝ මුස්ලිම් පල්ලිය යන මේ කුමන ශුද්ධ භූමියක් වුවද දැඩි ආරක්ෂාවක් පවතින ස්ථානය. එය එසේ වන්නේ අවිගත් සෙබළුන් එහි සිටින නිසා නොවේ. ඒ ස්ථානවල ඇත්තේ දෙවිඳුන්ගේ බුදුන්ගේ ආරක්ෂාවය. එකී ආරක්ෂාව යනු එහි ඇති සාමයයි. මිනිසුන් පාවහන් පවා ගලවා එහි ඇතුළුවන්නේ එය ඒ තරමට ගෞරවනීය ස්ථානයක් නිසාය. පාස්කු ඉරිදා දින ජනතාව යන්නේ එවැනි සාමකාමී ස්ථානයකටය. සැදැහැවත් සිත් තවදුරටත් සැදැහැවත් කරගැනීමට විනා වින කැටීමක් මේ ස්ථානයේදී සිදුනොවන්නේය. මිනිසුන් හෝටලයකට යන්නේද ආරක්ෂාව පතාය. එමෙන්ම පෝෂණය පතාය. මේ ම්ලේච්ඡ ප්‍රහාර එල්ල වන්නේ එකී ජනතාව ආරක්ෂාව සහ පෝෂණය පතා ගිය ස්ථානවලටය.

මෙය ඉතාම ඛේදජනක අවස්ථාවක් වුවද, වාවාගත නොහැකි අවස්ථාවක් වුවද ඒ සියල්ලටම වඩා කිතුනුකම පෙරට ගෙන කටයුතු කරන්නට සිය ජනතාව මෙහෙයවීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඇතුළු පූජක පැවිදි පියතුමන්ලා කටයුතු කළ යුතු බව කිවයුතුය. මේ අවස්ථාවේ අප කටයුතු කළ යුතුවන්නේ හදවතින් නොව බුද්ධියෙන් බව අපගේ ජනතාවට පැහැදිලි කර දීම අපහසු නොවීය. මේ අනතුර කළ පිරිස, මේ ක්‍රියාව කරනු ලැබුවේ, ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තුවෙනි. කතෝලිකයන්ගේ ප්‍රතිප්‍රහාරය කුමක්ද යන්න මේ අවස්ථාවේදී, සීයට සීයක්ම ලෝකයට පැහැදිලි වෙන්න ඇති. අපගේ ප්‍රතික්‍රියාව අනුව රටේ අනාගතය තීරණය වෙන බව අපි දනිමු. ඒ බව කිතුනු ජනතාවට පැහැදිලි කර දීමට අපට හැකි විය.

වසර තිහක යුද්ධයක් අපි නිමා කළෙමු. ඒ යුද්ධයේ අත්දැකීම් අපට අමතක නැත. ඒ පන්නරයද අපට ඇත. එබැවින් මේ අවස්ථාවේ නීතිය ක්‍රියාවට නැඟීමේ ආණ්ඩුවේ වගකීම ආණ්ඩුවට පවරා ඔවුන්ගේ රාජකාරිය කිරීමට ඉඩදිය යුතුබව අපි අපේ ජනතාවට පැහැදිලි කර දුන්නෙමු. ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් යම් අපහසුතාවක් ඇත්නම් අන්තර්ජාතික සහාය ලබාගෙන හෝ මේ වැරැද්ද කළ පිරිස සොයා ඒ අයට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට අපි ආණ්ඩුවට දැඩිව කියා සිටිමු. අප ජනතාවට පවසා ඇත්තේද එයය. එනම් අසාධාරණයට ලක්වූ සියලු මිනිසුන් වෙනුවෙන්, ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කර සාධාරණය, යුක්තිය ඉටු කළ යුතුය. වැරැදිකරුවන්ට නීතිය අනුව දඬුවම් හිමිවිය යුතුය. එබැවින් කාර්යක්ෂමව, විධිමත් පරීක්ෂණ ආරම්භ කළ යුතුය. අපි අපේ ජනතාවට මේ බව නිරන්තරයෙන්ම පවසමින් රටේ අනාගතය රදා පවතින්නේ අපගේ ප්‍රතික්‍රියාව මත බව සිහි කරන්නෙමු. ඔවුන්ට ආණ්ඩුව සාධාරණය ඉෂ්ට කරන බවට විශ්වාසයෙන් සහ බලාපොරොත්තුවෙන් සිටින බවද කිව යුතුය.

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර යනු කිතුනුවන්ට පමණක් එල්ල වූ ප්‍රහාර බව නොසිතිය යුතුය. මෙය මේ රටේ බෞද්ධ, කිතුනු, හින්දු, මුස්ලිම් ඇතුළු සෑම ප්‍රජාවකටම විරුද්ධව එල්ලවූ ප්‍රහාරයක් බව අප පසක් කර ගත යුතුය. අද අපට එල්ල වූ මේ ප්‍රහාරය හෙට තවත් ප්‍රජාවකට එල්ල විය හැකිය. එබැවින් අප සියලු දෙනා එකට එක්ව අත්වැල් බැඳගෙන මෙවැනි ප්‍රහාර නැවත නොවෙන්නට කටයුතු කළ යුතුය. ජාති, ආගම් වශයෙන් බෙදී නොසිට සමස්ත පුරවැසියන් ලෙස අප මේ ගැටලුවට මුහුණ දිය යුතුය.

මේ වෙන විට මෙකී ඛේදවාචකයට මුහුණ දුන් ජනතාවගේ සිත් තවමින් ඔවුන්ට උපදේශනය කිරීමට අපි කටයුතු කරන්නෙමු. අපි අපගේ ජනතාවගේ වේදනාබරිත සිත්වලට සහනය දෙමින් සිටින්නෙමු. සියලු රටවැසියන්ගේ හා ලෝක වාසීන්ගේ දයාවේ හස්තයන් ඔවුන් වෙත දිගු කරන මෙන්ද ඉල්ලා සිටිමු. ප්‍රාර්ථනාවකින් හෝ ඔවුන්ගේ සිත්වලට සහනය දීමට අප සමඟ එක්වන ලෙස සියලු ආගමික ජනකොටස්වලින් ඉල්ලා සිටිමු. එමෙන්ම ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග දෙස විශ්වාසයෙන් යුතුව බලාසිටින්නෙමු.

සුමේධා නවරත්න

නව අදහස දක්වන්න