භාෂා පරිවර්තක මාස 03ක් රඳවා ගැනීමට අවසර | දිනමිණ

භාෂා පරිවර්තක මාස 03ක් රඳවා ගැනීමට අවසර

අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත් වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක ජමාල්ඩීන් නෞෂාඩ් මාස 03 ක කාලසීමාවක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

හදිසි නීති රෙගුලාසි යටතේ මෙම සැකකරු රඳවා තබාගෙන ඉදිරි පරීක්ෂණ සිදු කෙරෙන අතර කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත මෙම සැකකරු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (19) දිනයේදිය.

ඒ, විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.

2006 වසරේ සිට පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කර ඇති ජමාල්ඩීන් නෞෂාඩ් නැමති මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පවත්වා ඇති අතර, ක්‍රියාකාරී සාමාජිකයෙකු බවටද අනාවරණය වී ඇත.

සැකකරු මීට පෙර ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල මහ රෝහලේ සේවකයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ද සදහන්.

මෙම පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට පදිංචිව සිටි රාජගිරිය නිවසේ තිබී සැකකටයුතු උපකරණ කිහිපයක්ද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

 

නව අදහස දක්වන්න