එයාර් බෑග් නැති වාහන අලෙවිය තහනම් | දිනමිණ

එයාර් බෑග් නැති වාහන අලෙවිය තහනම්

එයාර් බෑග් නොමැති මරුටි, ඇල්ටෝ හා ඩිමෝ බට්ටා යන වාහන අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. කුඩා වාහනයක් අනතුරකට ලක්වුවහොත් අනිවාර්යෙයෙන් වාහනයේ ගමන් කරන්නන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වන බැවින් මින් ඉදිරියට එයාර් බෑග් නොමැති වාහන අලෙවිය තහනම් කොට ඇතැයිද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

ලංකාවේ එයාර් බෑග් සවිකලාට කිසිදු වගකීමක් දෙන කෙනෙක් නැහැ. පිටරටින් එන වාහන වලට එයාර් බෑග් සවිකර තිබෙන්නේ පූර්ණ පරික්ෂාවකින් පසුවයි. එසේ සවිකර තිබෙන එයාර් බෑග් එක වැඩ කරනවාද කියා තුන් පාරක් පරික්ෂා කරනවා. ඒ රටවලදී වාහනයක් පැයට කිලෝ මිටර් 80 වේගයෙන් ගොස් විශාල යකඩ කුළුණු දෙකක් මැද සවිකර තිබෙන විශාල රබර් කුට්ටියක වාහනය හැප්පා එයාර් බෑග් වැඩකරනවාද කියා පරික්ෂා කරනවා. එම පරීක්ෂණය හදුන්වන්නේ 'ක්‍රෑෂ් ටෙස්ට්' යනුවෙන්. එසේ හැප්පෙන විට එයාර් බෑග් එක වැඩකරනවා. මෙය වැඩ කරනවාද කියා තුන් පාරක් පරික්ෂා කිරීමෙන් පසුයි මෙරටට වාහන ආනයනය කරන්නේ. නමුත් අද බොහෝ දෙනෙක් පංචිකාවත්තෙන් ලබාගෙන වාහන වලට එයාර් බෑග් සවිකරනවා. එසේ ලබා ගන්නා එයාර් බෑග් වැඩ කරනවාද කියා පරික්ෂා කරන්න කෙනෙක් නැහැ. මෙහිදී සවිකරන එයාර් බෑග් වැඩ කරනකොට රියදුරා මියගොස් තිබේවි. මෙය ප්‍රැක්ටිකල් ප්‍රොඩක්ට් එකක් විදිහට තිබිය යුතුයි. නමුත් ලංකාවේ ක්‍රෑෂ් ටෙස්ට් කරන්න තැනක් නැහැ. එම නිසා ලංකාවේ සවිකරන එයාර් බෑග් වලට වගකීම සහතිකයක් දෙන්න කෙනෙක් නැහැ. ඒ අතින් බලන විට අපි ගොඩක් පහළින් සිටින්නේ.‘ වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මීට අමතරව ඩීමෝ බට්ටා ලොරි වලට අනිවාර්යයෙන්ම ඒ.බී.එස් බ්‍රේක් තිබිය යුතුයි. ඒ.බී.එස් බ්‍රේක් නොමැති බට්ටා වාහන මෙරටට ගෙන්වීම තහනම් කොට තිබෙනවා.ඒ සඳහා මාස හයක සහන කාලයක්ද ලබාදී තිබුණා. මින් ඉදිරියට ඒ .බී.එස් බ්‍රේක් නොමැති වාහන මෙරටට ගෙන්වා තිබුණහොත් අනිවාර්යයෙන්ම ආනයන පාලක වගකිවයුතු බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

මොනයම් හෝ වාහන අලෙවි කරන ස්ථානයක එයාර් බෑග් නොමැති වාහන අලෙවි කරන්නේනම් වහාම 0112687105 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් අදාළ ස්ථානයට හෝ පුද්ගලයාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

නිමල් රාජපක්ෂ

අදහස් 1ක් ඇත

Very good

නව අදහස දක්වන්න