රට වෙනුවෙන් එක මතයක්! | දිනමිණ

රට වෙනුවෙන් එක මතයක්!

රට යථා තත්ත්වයට පත් වී ඇතැ’යි බැලූ බැල්මට පෙනුණ ද; එය අඛණ්ඩ ලෙස පවත්වා ගැනීමට ඉඩක් තිබේද යනු ගැටලුවෙකි. එක පැත්තකින් උපවාස පැවැත්වෙයි. තව පැත්තකින් විවිධ විරෝධතා මතුවෙයි. තවත් පැත්තකින් මැතිවරණ උණුසුමක් ඇති කිරීමට සමහරු උත්සාහ දරති. මේ සියල්ල නිරීක්ෂණය කරන විදේශීය ආයෝජකයා හා විදේශීය සංචාරකයා යළිත් ශ්‍රී ලංකාව කෙරෙහි අනියත බියක් ඇතිකරගන්නට පුළුවන. රජය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දරන ප්‍රයත්නයට එය විශාල බාධාවක් බව පෙනීයයි. මේ අතර දේශීය කර්මාන්ත සවිබලගැන්වීම සඳහා වූ ජාතික සංසදය රටේ සියලුම නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලු දෙනා එක මතයකට පැමිණ රට ගොඩනැඟීමට පෙළ ගැසෙන හැටියට ය.

අපට හැ‍ඟෙන පරිදි ඉහත සංසදයේ ඉල්ලීම ඉතා වැදගත් ය. එම සංසදය කියන ලෙස සියලු නායකයන් එක මතයකට පැමිණ රට ගොඩනැඟීමට පෙළ ගැසෙන්නේ නම්; කුමන බාධා පැමිණිය ද ඒවා මැඩපවත්වා ඉදිරියට යෑමේ හැකියාවක් ඇතිකර ගත හැකි ය. දෙවන ලෝක යුද සමයේ දී මහා බ්‍රිතාන්‍යයේ පක්ෂ - විපක්ෂ එක මතයකට පැමිණ අර්බුදයට මුහුණ දුන්හ. 1971 කැරැල්ල සමයේ එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට සහයෝගය පළ කළේය. මේ සහයෝගය මැතිනියට ලැබුණු ආශිර්වාදයක් විය. මැතිනිය ඉතා සාර්ථකව කැරැල්ල මැඩපවත්වා ආණ්ඩුවේ ස්ථාවරත්වය ඇතිකර ගත්තා ය. අර්බුදයක දී නායකයන් ක්‍රියා කළ යුත්තේ එබඳු බුද්ධිමත් ආකාරයකට ය.

නූතන පාර්ලිමේන්තුව දෙස බැලුවහොත් අපට දකින්නට ලැබෙන්නේ මහා ගාලගෝට්ටියක් විනා රටට වැදගත් සංවාදයක් නොවේ. මහජන නියෝජිතයන් තමන්ගේ පක්ෂය, පක්ෂයේ නායකයන් ගැන සැලකිල්ල දක්වමින් මහා වාදවල පැටලෙන බවක් දකින්නට ලැබේ. සමහරුන් රටේ ඇත්ත තත්ත්වය කතා කරන්නේ නැත. තව සමහරුන් ගැටලු නිරාකරණයට සහාය දෙනු වෙනුවට ඒවා උත්සන්න කරන බවක් පෙනෙයි. තවත් සමහරුන් සෑම අවස්ථාවක ම ජාතික සංහිඳියාව, ආගමික සමගිය වැනි වැදගත් සාධක නොසලකා හරින බව ද පෙනෙයි. රටේ ආර්ථිකයට අදාළ වැදගත් යෝජනා ඉදිරිපත් වන්නේ කලාතුරෙකින් ය. එබඳු යෝජනාද හැම අතින්ම විවේචනයට ලක්වන බව පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුවෙන් පිටත බාහිර සමාජය තුළද මේ ගැටුම එලෙස ම දකින්නට පුළුවන.

රට තුළ පැතිර යන ඇතැම් අදහස් හා මතවාද දෙස බලන විට එක අතෙකින් පුදුම සිතන්නට පුළුවන. ශ්‍රී ලංකාවට සාම - සාධක හමුදාවක් ගෙන්වන බවටද, විදේශීය ආක්‍රමණයක් සිදුවිය හැකි බවට ද මතයක් පැතිර යයි. මේ මතය හිතා- මතා හා සංවිධානාත්මකව මහජනයා අතරට ගෙන ගොස් ඇති බව ද පෙනෙයි. එය කෙතරම් දුරට තහවුරු වී තිබේද යත්; එවැන්නක් සිදුවීමට එරෙහි ව ආගමික නායකයන්ගේ සන්දේශයක් ද ඉදිරිපත් වී ඇත. එහෙත් සාම - සාධක හමුදාවක් රටට ගෙන්වීමට අදාළ කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් වී නැත. විදේශීය ආක්‍රමණයක් පිළිබඳ සාක්ෂියක් ද ඉදිරිපත් වී නැත. එහෙත් අනියත බියක් පැතිර ගොස් තිබේ. එම භීතිය රටේ සාමාන්‍ය පැවැත්මට සුබදායක වන්නේ නැත.

පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ අධ්‍යාපනය යථා තත්ත්වයට ගත්තේ විවිධ දුෂ්කරතා මැද ය. පාසල් සති තුනක් පමණ වසා දමන්නට සිදුවිය. පාසල් නිල වශයෙන් ආරම්භ කළ පසු ඒවායෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත ගැටලු මතුවිය. ආරක්ෂාව තහවුරු කර ඇතැ’යි ආරක්ෂක ප්‍රධානීන් සහතිකයක් ලබා දුන්න ද මාපියන් එය පිළිගත්තේ නැත. ඉන් පසු කඩාකප්පල්කාරීන් කිහිප වරක් ම මාපියන් භීතියට පත් කරන දේවල් ඇතිකර තිබිණි. මෙයින් පෙනීයන්නේ රට සාමාන්‍ය තත්ත්වයෙන් පවතින විට ඊට එරෙහිව විවිධ කණ්ඩායම් ක්‍රියා කරන බව ය. දේශප්‍රේමය ඕනෑවටත් වඩා රට තුළ ව්‍යාප්ත වී තිබුණ ද එය සැබෑ දේශප්‍රේමයක් නොවන බව ඇතැම් සිදුවීම්වලින් පෙනීයයි. දේශප්‍රේමය යනු ජාතිවාදය නොවන බව ද, තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීම නොවන බවද ඇතැමකුට අමතක වී ඇත.

රටේ නීතිය හා සම්ප්‍රදාය ක්‍රියාත්මක වීමේ දී ද ඊට බාධා එල්ලවන අවස්ථා තිබේ. ඇතැම් විට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පවා විවේචනයට ලක් වෙයි. ඒවාට බාධා ඇතිවන ලෙස දේශපාලකයන් ක්‍රියා කරන අවස්ථා ද තිබේ. ආරක්ෂක අංශ සිදුකරන මෙහෙයුම්වලට මෙන්ම සිදුකරන අත්අඩංගුවට ගැනීම්වලදී ද මහජනයා එරෙහි වූ අවස්ථා තිබේ. දේශපාලකයන් ඒවාට බාධා කළ අවස්ථා ද තිබේ. නීතිය හරි හැටි ක්‍රියාත්මක කිරීමට අදාළ අංශවලට ඉඩදිය යුතු ය. ඊට දේශපාලකයා බලපෑම් නොකළ යුතු සේ ම මහජනයා ද එබඳු බලපෑම් කිරීමෙන් වැළකී සිටිය යුතු ය. එහෙත් එය නිසි ලෙස සිද්ධ‍ නොවන බව පසුගිය සති කිහිපයේ අත්දැකීම් අපට පසක් කරනු ලැබේ. කර්මාන්ත සවිගැන්වීම උදෙසා වන සංසදය පෙන්වා දෙන අන්දමට මේ සියල්ල වෙනස් විය යුතුය.

2018 ආර්ථික සමාලෝචනය දෙස බලන විට ද, 2019 ට තිබූ ආර්ථික ඉලක්ක දෙස බලන විට ද පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගොඩනැ‍ඟෙමින් පැවැති බව ය. පාස්කු ප්‍රහාරයෙන් පසු ඒ සියල්ල කඩාවැටීමකට ලක් විය. ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වන සෑම රටකම ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙයි. එය ස්වාභාවික ය. තාවකාලික කඩා වැටීම වාසියකට හරවාගෙන ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ උපාය මාර්ග අප සොයා ගත යුතු ය. රජය සංචාරක කර්මාන්තය වෙනුවෙන් එබඳු උපාය මාර්ග ක්‍රියාත්මක කරමින් සිටී. එය සාර්ථක බව පෙනී යන්නේ රටවල් හතරක් මේ වන විට ශ්‍රී ලංකා සංචාරක තහනම ඉවත් කර ගැනීමෙන් ය. ආර්ථිකයේ සෙසු අංශ ද මේ අයුරින් නඟා සිටුවිය හැකි ය.

කර්මාන්ත සඳහා වූ ජාතික සංසදය පෙන්වා දෙන්නේ ඉතා වැදගත් කාරණයකි. මේ අවස්ථාවේ හුදු දේශපාලන අරමුණු පසෙක දමා රට හා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා සියලු කණ්ඩායම් ඒකරාශී වීම හා එක මතයක සිට කටයුතු කිරීම වැදගත් බව එම සංසදයේ පණිවිඩය යි. ඒ කෙරෙහි කාගේත් දෑස් යොමුවිය යුතුව තිබේ.

අදහස් 1ක් ඇත

රටේ අාරක්ෂාව ඉතාම අනපේක්ෂිත ලෙස අවධානමකට ලක් වු අවස්ථාවක ජාතින් ලෙස දෙකඩ වීම විසදුමක් ලෙස නොගෙන වෛරීය චේතනා ඉස්මතු කිරීමට උත්සහ නොකර ගැටලු නිරාකරණය කර ගනීමින් රට එක්සෙසත් කිරීම සදහා එකා මෙන් නැඟි සිටිය යුතුයි.

නව අදහස දක්වන්න