මුස්ලිම් ඇමැතිවරු ඉවත් වූවත් ආණ්ඩුවට දිගටම සහාය දීම අගය කරනවා | දිනමිණ

මුස්ලිම් ඇමැතිවරු ඉවත් වූවත් ආණ්ඩුවට දිගටම සහාය දීම අගය කරනවා

ජයසිරි මුණසිංහ

මුස්ලිම් ඇමැතිවරු ධූරවලින් ඉවත් වුවද ඔවුන්ගේ සහය අඛණ්ඩව රජයට, ආණ්ඩුවට ලබාදීම අගය කරන බව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පැවසීය. එම අමාත්‍යාංශයේදී ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මුස්ලිම් මැති ඇමැතිවරු අන්තවාදයට, ත්‍රස්තවාදයට සහාය ලබා දැන් බවට තොරතුරු , වාර්තා තිබේ නම් නොපමාව ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කළ විශේෂ ඒකකයට ලබා දෙන්නැයි නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර ජයමහ මහතා ප්‍රකාශ කෙළේය.

ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ඊයේ (04) රැස් වූ ඇමැති මණ්ඩල හමුවේදී මෙම විශේෂ ඒකකය පිහිටුවීට අනුමැතිය ලැබුණු බවද හෙතෙම පැවසීය.

තැන තැන මුස්ලිම් මැති ඇමැතිවරුන්ට චෝදනා නොකොට රජය ස්ථාපිත කළ නව විශේෂ ඒකකයට එම තොරතුරු ලබාදෙන්නැයි ද, ඒවා කඩිනමින් විභාග කිරීමට ආරක්ෂක අංශ සුදානම් යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

මුස්ලිම් ඇමැති, රාජ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැතිධූර දැරූ සියලු දෙනා ඉල්ලා අස්වී විශාල පරිත්‍යාගයක් කළබව කී නියෝජ්‍ය ඇමැතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිදු කැරෙන පරීක්ෂණ කිසිදු බාධාවකින් තොරව සිදු කිරීමට ඉඩ සලසා දීම ඔවුන්ගත් තීරණයේ අරමුණ වී ඇති බවද කීය.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිධුරයක් දරන රිෂාඩ් බදුර්දීන් මහතා ඉවත් කිරීම වෙනුවට මුළු මුස්ලිම් ඇමැතිවරුම ඉවත්වීම පිළිබඳව සිය අදහස පැහැදිලි කළ නලීන් බණ්ඩාර ජයමහ මහතා දවසින් දවස එක් එක් අයට කරන චෝදනා අනුව එක් එක් අය ඉවත්කිරීමට සිදුවුවහොත් එය විශාල ව්‍යාකූල තත්ත්වයක් මතු කරන්නක් වෙනවා. ඒ නිසා මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා විශාල පරිත්‍යාගයක් සිදු කර ධුරවලින් ඉවත් වුණා. දැන් අවස්ථාව තිබෙනවා ඕනෑම අයෙකුට එරෙහිව පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන් , නිවැරැදිකරුවන් සොයා ගන්නට. ඒ නිසා ඉතා කඩිනමින් මේ පරීක්ෂණ සිදු කළ යුතුයි.

රටේ ජාතිවාදී ආගම්වාදී ගිනිදැල් දල්වා රටත්, ජනතාවත් අඳුරු යුගයකට රැගෙනයාමට මාන බලන කුරිරු බලවේගවලට හසුවෙන්න එපා කියා මා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

අදහස් 1ක් ඇත

ema prathipatthi obalatada suba dayakaya!

නව අදහස දක්වන්න