නැ’හිර විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා | දිනමිණ

නැ’හිර විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා

* ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ උපදෙස් පිළිගන්නවා 
* හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ගේ ප්‍රකාශය හෙළා දකින බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෘත්තීය සමිති නායකයන් හමුවේ අගමැති කියයි

නැඟෙනහිර ඉදි කෙරෙන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ අරලියගහ මන්දිරයේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති නායකයන් සමඟ ඊයේ(11) පැවැති සාකච්ඡාවකදීය.

උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණක් බව අගමැති වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. නැඟෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දී කර තිබු ප්‍රකාශ ආණ්ඩුව තරයේ හෙළා දකින බවත් ජාතිවාදී ප්‍රකාශවලින් සිදු වන්නේ විශාල හානියක් බැවින් දැන්වත් එවැනි ප්‍රකාශ කිරීම නතර කළ යුතු බවත් පෙන්වා දෙන අගමැතිවරයා අප කටයුතු කළ යුත්තේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් බවත් පැවසීය. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කරන බව පවසන අගමැති වික්‍රමසිංහ මහතා ඒ ගැන වැඩිදුරටත් අන්‍යාගමික පූජකවරුත් සමඟත් සාකච්ජා කළ බවද කීය. ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් ඇති කළ යුතු බව උන් වහන්සේලාගේ අදහස බැවින් ආගම් අතර සංහිඳියාව ඇති කිරිම සඳහා ආණ්ඩුව ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටුවන බවද අගමැතිවරයා කීය.

අප්‍රේල් 21 වැනි දා සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත් වු මලල්ගොඩ කොමිටියේ වාර්තාව බාර දී ඇති බැවින් එහි නිර්දේශ පිළිබඳව ඉදිරියේ දී කටයුතු කරන බවද වැඩිදුරටත් කීය.

මෙම සාකච්ඡාවට දඹර අමිල නා හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය ජෙහාන් පෙරේරා, මහචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.

අදහස් 1ක් ඇත

When is this happen? All your answers like this.

නව අදහස දක්වන්න