අන්තවාදයට එරෙහි ඒකාබද්ධ සටන! | දිනමිණ

අන්තවාදයට එරෙහි ඒකාබද්ධ සටන!

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට ද, අන්තවාදය වැළැක්වීමට ද අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ජපානය ඉදිරිපත් වන බව වාර්තා වී ඇත. මේ බව දැනගන්නට ලැබෙන්නේ ජපන් අගමැතිවරයාගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ය. පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ බුද්ධිමතුන් මත පළකරමින් කියා ඇත්තේ අයි. එස්. ත්‍රස්තවාදයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ අන්තවාදී සංවිධාන පරාජය කිරීම සඳහා දියුණු රටවල සහයෝගය අවශ්‍ය බව ය. ඒ සඳහා තාක්ෂණික සහයෝගය, උපදේශනය, බුද්ධි ‍සේවය පමණක් නොව; මූල්‍ය-ආධාර පවා ලබා ගැනීම වැදගත් බව පෙනී යයි.

ජපානය හා ශ්‍රී ලංකාව අතර පවත්නා මිත්‍රත්වයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමය තුළ එම මිත්‍රත්වය වඩාත් ශක්තිමත් වූ බව ඉතිහාසයේ සාධකවලින් සනාථ වෙයි. ජාතික රූපවාහිනිය හා ජයවර්ධනපුර රෝහල ද ‘ජයිකා’ සමාජ සත්කාරක සේවාව ද දෙරටේ මිත්‍රත්වයේ සංකේත ලෙස පවතී. ජපානය සැලැකිය හැක්කේ ලොව තෙවන ශක්තිමත් ආර්ථිකය සහිත රාජ්‍යය හැටියට ය. එය සාමකාමී රාජ්‍යයකි. එලෙසම සමාජ සත්කාරක සේවා ඔස්සේ මිත්‍ර රටවලට ආධාර සපයන පොහොසත් රාජ්‍යයකි. ජපන් අගමැති ෂින්ෂේ අබේ මහතා හා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පෞද්ගලික මිත්‍රත්වයක් ද පවතී.

ශ්‍රී ලංකාවට බලපවත්වන ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජය කිරීම සඳහා යුරෝපා සංගමය ද ඉදිරිපත් වන බවක් වාර්තා වී ඇත. ඊට අදාළ කරුණු හෙළිදරව් වන්නේ යුරෝපීය රටවල තානාපතිවරුන් හා අගමැතිවරයා අතර වූ සාකච්ඡාවකින් පසුව ය. යුරෝපා සංගමයට දියුණු රටවල් විසිහතක් ඇතුළත් වන අතර ඒ සෑම රාජ්‍යයක් ම ආර්ථික අතින් සේම තාක්ෂණය අතින් ද බලවත් ය. යුරෝපා සංගමය ලෝකයට බලපෑමක් කළ හැකි ජගත් සංවිධානයක් ලෙස හැඳින්විය හැකි ය. යුරෝපා පාර්ලිමේන්තුව සේම යුරෝපා ආර්ථික හවුල ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. යුරෝපා සංගමය සමඟ කටයුතු කිරීමෙන් එකවර දියුණු රටවල් ගණනාවක සහයෝගය ලබාගත හැකි ය.

පාස්කු ප්‍රහාරය පසුපස ඇත්තේ අයි. එස්. සංවිධානය බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුනට සහය දෙන්නන්ට අවශ්‍ය මුදල් ආධාර, උපදේශනය පමණක් නොව; අවි පුහුණුව පවා විදේශ රටවල දී ලබා දී ඇත. ඒ පමණක් නොව මෙරට පුහුණු කඳවුරු පවත්වා ගැනීමට ද ආධාර ලබා දී ඇත. මෙය භයානක තර්ජනයකි. අයි. එස්. ත්‍රස්තවාදය සේම ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් බව මෙයින් තවදුරටත් සනාථ වෙයි.

ඉස්ලාම් අන්තවාදයට හා ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාකරන තවත් රාජ්‍යයක් වන්නේ ඉන්දියාව ය. ඉන්දියාවේ අන්තවාදීන් හා ශ්‍රී ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් අතර සම්බන්ධය ඉන්දියාවේ බුද්ධි අංශ හෙළිකරගෙන ඇත. ඒ අනුව අබුබකර් නමැති පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන දැඩි අවධානයක් යොමු කර ඇති ඉන්දියාවේ බුද්ධි අංශ ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකරමින් සිටී. පාස්කු ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඉන්දියාව සූදානම් බව ය. මෝදි මහතාගේ ශ්‍රී ලංකා චාරිකාවේදී ද මේ ගැන සාකච්ඡා වී ඇත. මේ මොහොතේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහායට සිටීම අතිශයින් ම වැදගත් ය.

පාස්කු ප්‍රහාරය අපට කියා දෙන වැදගත් පාඩම් කිහිපයක් තිබේ. එයින් එක් පාඩමක් වන්නේ ගෝලීය ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට රිංගාගෙන ඇති බව ය. අයි. එස්. ත්‍රස්තවාදය බිහිවන්නේ ඉරාකයේ යුද සමය අවසන් වීමත් සමඟ ය. ඉරාකයෙන් ආරම්භ වූ අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදය වඩාත් බලවත් ලෙස ක්‍රියාත්මක වූයේ සිරියාව තුළ ය. එහෙත් මේ වනවිට අයි. එස්. ත්‍රස්ත කල්ලි ඉහත රටවල් දෙකෙන් ම තල්ලු වී ඇත. තත්ත්වය එසේ වුව මැදපෙරදිගට හා දකුණු ආසියාවට අලුත් බලපෑමක් කිරීමට අයි. එස්. ත්‍රස්තයෝ උත්සුක වෙති.

මේ අතර අලුත්ම සිද්ධිය වන්නේ සවුදිඅරාබියේ “අබා” ගුවන් තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම ය. ඉන් විසිහයදෙනකු තුවාල ලබා ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. යේමනයේ සිට මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැ’යි විශ්වාස කෙරෙන අතර ඒ සඳහා භාවිත කර ඇත්තේ ‘ක්රූස්’ මිසයිලයක් බව ද හෙළිදරව් වී ඇත. ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අවසන් වී නැති බැවින් එහි වගකීම පැවරිය හැකි කල්ලියක් නැත. එහෙත් ත්‍රස්ත කල්ලි සතුව අධිබලැති අවි-ආයුධ ඇති බව සිද්ධියෙන් පැහැදිලි වෙයි. ආයුධ වෙළෙඳාම ලෝකයේ ප්‍රධාන ව්‍යාපාරයකි. රහසිගතව සිදුවන ආයුධ ජාවාරම වඩා බලවත් ය. ත්‍රස්ත කල්ලිවලට අධි බලැති මිසයිල ලැබෙන්නේ අවි ජාවාරම ඔස්සේ ය.

ගෝලීය ත්‍රස්තවාදය දෙස හැරී බලනවිට පෙනී යන්නේ ඊට ශක්තිමත් ජාලයක් ඇති අතර නවීන තාක්ෂණය මෙන් ම අධි බලැති අවි-ආයුධ ද ඔවුන් සතුවන වග ය. ඔවුන් භාවිත කරන උපායමාර්ග කලින්-කලට වෙනස් ය. තනි රටකට ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම අපහසු ය. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වන අතර සියලු දෙනා ඒකාබද්ධව ක්‍රියා කිරීම වඩා වැදගත් ය. ශ්‍රී ලංකාවට එබඳු අවස්ථාවක් ලැබී ඇති බව පෙනෙයි.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න