රාජ්‍ය සේවක චක්‍රලේඛය නිවැරැදි කරන්නැයි කොමිසම ලේකම්ට දන්වයි | දිනමිණ

රාජ්‍ය සේවක චක්‍රලේඛය නිවැරැදි කරන්නැයි කොමිසම ලේකම්ට දන්වයි

රෝෂන් තුෂාර
මහින්ද අලුත්ගෙදර

රාජ්‍ය සේවක නිල ඇඳුම් චක්‍රලේඛයේ පවතින ගැටලු නිරාකරණය කර එය කඩිනමින් නිවැරදි කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරන අමාත්‍යාංශ ලේකම්වරයාට ඊයේ 13දා දන්වා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රාජ්‍ය ආරක්ෂාව මුල්කර ගනිමින් නිකුත් කළ නිල ඇඳුම් චක්‍රලේඛය මෙසේ නිවැරැදිකරන ලෙස දන්වා සිටියේය.

කාරක සභා සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාරක සභාව මෙම නියෝගය නිකුත් කළේය.

රාජ්‍ය සේවයේ නියුතු සියලු ජාතීන්ට පිළිගතහැකි සුදුසු ඇඳුම් යෝජනා කරන ලෙසද කාරක සභාව දන්වා සිටියේය.

21 දින පාස්කු ප්‍රහාරයෙන් පසු පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය මගින් රාජ්‍ය සේවකයින්ට හිරිහැරයක් වී ඇති බවත්, ඒ පිළිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිලිකර ඇති බවත් පෙන්වාදුන් තේරීම් කාරක සභාව එසේ නිල ඇඳුම හේතුවෙන් සේවයට වාර්තා නොකළ මුස්ලිම් ජාතික රාජ්‍ය සේවකයින් සිටින්නේ නම් එම සේවකයින්ට වැටුප් සහිත නිවාඩු අනුමත කිරීමට කටයුතු කරන ලෙසද දන්වා සිටියේය.

එසේ රාජ්‍ය නිල ඇඳුම හේතුවෙන් යම් රාජ්‍ය සේවකයකුට හිරිහැරයක් පීඩාවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට කටයුතු කරන බව තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන් අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා දන්වා සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව නිකුත් කළ චක්‍රලේඛය සංස්ථා, මණ්ඩලවලට අදාළ නොවන බවත්, චක්‍රලේඛය නිසා පීඩාවට පත්වු කිසිදු රාජ්‍ය සේවකයකු පිළිබඳ පැමිණිල්ලක් මේ වන තෙක් ලැබී නොමැති බවත් ලේකම්වරයා සාක්ෂි දෙමින් පැවසීය.

රාජ්‍ය සේවකයකුට යම් අසාධාරණයක් සිදුවන්නේ නම් ආයතන ප්‍රධානියාට පරිපාලන අමාත්‍යාංශයට හා රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කළ හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නිල ඇඳුම් චක්‍ර ලේඛයෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යම් සිදුවීමක් වාර්තා වී නොමැති බවද පැවසීය.අදාළ නිල ඇඳුම් චක්‍රලේඛය ඇමැතිවරයා සමඟ සාකච්ඡාකර කඩිනමින් වෙනස් කර සුදුසු ආකාරයට සකස් කිරීමට කටයුතු කරන බවද රත්නසිරි මහතා පැවසීය.

මෙම නිල ඇඳුම් චක්‍රලේඛය කැබිනට් මණ්ඩල අනුමැතියකින් නිකුත් කළ එකක් නොවන බවත්, පැවති රාජ්‍ය සේවා නිල ඇඳුම් චක්‍රලේඛය හා හදිසි නීති රෙගුලාසි ගැසට් පත්‍රය අනුව යමින් සැකසූ ලියවිල්ලක් බවත් ලේකම්වරයා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

අදහස් 1ක් ඇත

ආයතන ප්‍රධානියාට පරිපාලන අමාත්‍යාංශයට හා රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කරොත් වැඩට එන්න් පුළුවං වෙයිද ආය..... ?????

නව අදහස දක්වන්න