එක්දින ලකුණු 11,000 වාර්තාව කෝලිගෙන් | දිනමිණ

එක්දින ලකුණු 11,000 වාර්තාව කෝලිගෙන්

ෆවුස් මොහොමඩ් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සිට...

පාකිස්තානයට එරෙහිව මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පෙරේදා පැවැති තරගයේදී ලකුණු 77ක් රැස් කරමින් ලොව වේගවත්ම එක්දින ලකුණු 11,000 වාර්තාවට හිමිකම් කීමට ඉන්දීය පිලේ නායක විරාත් කෝලි සමත් විය.

30 හැවිරිදි කෝලි මෙම වාර්තාව තැබුවේ ඔහුගේ 222 වැනි එක්දින ඉනිමේදීය. ඒ අනුව ලොව වේගවත්ම ලකුණු 11,000ට හිමිකම් කියමින් 2002දී ඉන්දීය පිලේ හිටපු නායක සචින් තෙන්ඩුල්කර් තැබූ වාර්තාව ඔහු බිඳ දැමුවේය. සචින්ට මේ කඩඉමට සේන්දු වීමට ඉනිම් 276ක් වැය වී තිබිණ.

පෙරේදා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී සිය 230 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ කෝලි පන්දු 65කින් ලකුණු 77ක් වාර්තා කිරීමට සමත්වූ අතර එය ඔහුගේ 51 වැනි එක්දින අර්ධ ශතකය ද විය. ශතක 41කට ද හිමිකම් කියන මේ විශිෂ්ට පිතිකරුවා මෙතෙක් රැස් කර ඇති එක්දින ලකුණු සංඛ්‍යාව 11020කි.

වසර 2008දී ශ්‍රී ලංකා පිලට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගණයේදී එක්දින තරග වරම් ලැබූ කෝලි සිය ක්‍රිකට් ජීවිතය තුළ තව වාර්තා රැසක්ම බිඳ දමනු ඇතැයි විචාරකයෝ කියති.

ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වේගවත්ම එක්දින ලකුණු දසදහසත් වාර්තා කළ අතර එක්දින තරග බිමේ ලකුණු දසදහස ලැයිස්තුවට එක්වූ ලොව 9 වැනි පිතිකරුවා සහ තුන්වැනි ඉන්දීය පිතිකරුවා බවට පත්විය. එපමණක් නොව ඔහු ලොව වේගවත්ම එක්දින ලකුණු 8,000 සහ 9,000 රැස් කළ පිතිකරු ලෙසත් වාර්තාපොතට එක්වී සිටී.

මේ වනවිට එක්දින තරගබිමේ ලකුණු දසදහස පසුකළ පිතිකරුවන් 14 දෙනකු සිටින අතර ඉන් 9 දෙනකු පමණක් ලකුණු 11000 පසු කිරීමට සමත්ව සිටිති. ලකුණු දසදහසේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ශතක 49ක් සහ අර්ධ ශතක 96ක් සමග ලකුණු 18,420ක් රැස් කළ සචින් තෙන්ඩුල්කර්ය. ශතක 25ක් සහ අර්ධ ශතක 93ක් සමග ලකුණු 14, 234ක් රැස් කළ කුමාර් සංගක්කාර එහි දෙවැනි තැන පසුවන අතර රිකී පොන්ටින් ශතක 30ක් සහ අර්ධ ශතක 82ක් සමග ලකුණු 13,704ක් රැස් කරමින් තුන්වැනි තැන සිටී.

ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාර හැරුණු විට සනත් ජයසූරිය, මහේල ජයවර්ධන සහ ටී.එම්.ඩිල්ෂාන් මෙම ලැයිස්තුවට ඇතුළත් වන අතර ඉන්දියාව වෙනුවෙන් සචින් සහ කෝලි සමග සව්රව් ගැන්ගුලි, රාහුල් ඩ්‍රාවිඩ් සහ මහේන්ද්‍ර සිං දෝනි ලැයිස්තුවේ සිටිති.

 

නව අදහස දක්වන්න