අයි.සී.සී.යේ කොන්දේසි උල්ලංඝනය නොකරන්නැයි ක්‍රිකට් ආයතනයෙන් අසන්තට-දිමුත්ට උපදෙස් | දිනමිණ

අයි.සී.සී.යේ කොන්දේසි උල්ලංඝනය නොකරන්නැයි ක්‍රිකට් ආයතනයෙන් අසන්තට-දිමුත්ට උපදෙස්

ෆවුස් මොහොමඩ් මැන්චෙස්ටර් නුවර සිට...

ඔස්ට්‍රේලියාව සමග ලන්ඩන් ඕවල් පිටියේ පසුගියදා පැවැති තරගයෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අයි.සී.සී.යෙන් කිසිදු දඬුවමක් නොකෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකු ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.

එම තරගයේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායකයා හෝ වෙනත් ක්‍රීඩකයකු පශ්චාත් මාධ්‍ය හමුවට සහභාගිවිය යුතුව තිබුණත් පැය භාගයකට ආසන්න කාලයක් පුරා ඒ සඳහා බලාපොරොත්තුවෙන් බලා සිටි මාධ්‍යවේදින්ට හිස් අතින් ආපසු හැරී යාමට සිදුවූයේ ශ්‍රී ලංකා පිල මාධ්‍ය හමුවට සහභාගිවීම ප්‍රතික්ෂේප කළ බව ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි අයි.සී.සී.යේ නියෝජිතයකු පැවැසීම හේතුවෙනි. කෙසේ වෙතත් මේ පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා පිලට යම්කිසි දඬුවමක් ලබාදීමට අයි.සී.සී.ය කටයුතු කරනු ඇතැයි සඳහන් වී තිබිණ.

පෙරේදා දිනයේ අයි.සී.සී. ය සමග සාකච්ඡා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් ඉදිරියේදී එවැන්නක් සිදු නොවන බව සහතික කළ බවත්, ඒ අනුව මාධ්‍ය හමුව වර්ජනය කිරීමෙන් ශ්‍රී ලංකා පිලට කිසිදු දඬුවමකට යටත්වීමට සිදු නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියා ඊයේ ‘දිනමිණ’ කළ විමසුමකදී කියා සිටියේය.

‘අප කණ්ඩායමේ පුහුණුකරු අසන්ත ද මැල් මහතා සමග පෙරේදා දුරකතනය ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. තරගමාලාවට සහභාගිවීම සම්බන්ධව අයි.සී.සී.යේ නීති රෙගුලාසි ගණනාවකට අප බැඳී සිටිනවා. එබැවින් එහි සියලු කොන්දේසි හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස අප ඔහුට දන්වා සිටියා.’ අදාල නිලධාරියා පැවැසීය.

‘මීට අමතරව අප ඊයේ (17) නායක දිමුත් කරුණාරත්න සමගත් දුරකතනය ඔස්සේ සාකච්ඡා කළා. ඇත්ත වශයෙන්ම එම තරගයෙන් පසුව දිමුත් දැඩි වෙහෙසට පත්ව සිටි බැවින් මාධ්‍ය හමුවට යාමට හැකියාවක් තිබී නැ. ඒ වගේම ඒ සඳහා ක්‍රීඩකයකු ඉදිරිපත් කිරීමට ඒ අවස්ථාවේ නොහැකිවී තිබෙනවා. ඉදිරියේදි මෙම කරුණ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙසත්, අයි.සී.සී.යේ කොන්දේසි අනුකූලව කටයුතු කරන ලෙසත් අප දිමුත්ට උපදෙස් දුන්නා.’

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පිලේ කළමනාකරු අසන්ත ද මැල් මහතා තම කණ්ඩායමට ලැබී ඇති අවම පහසුකම් පිළිබඳ සහ ක්‍රීඩා කිරීමට ලබා දී තිබුණු තණතීරු පිළිබඳ අයි.සි.සී.යට පැමිණිලි කර තිබුණු අතර එම සිදුවීම සහ ශ්‍රි ලංකා පිල මාධ්‍ය හමුව ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියා ‘දිනමිණ’ට තහවුරු කළේය.

‘ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ මානසික මට්ටමකයි පසුවන්නේ. ඒ වගේම ඔවුන් ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා. අපට තවත් තරග 4ක් ඉතිරිව තිබෙනවා. මම හිතන්නේ ඒ තරග තුළින් අපට සාර්ථකත්වය කරා යාමට හැකිවේවි.’ ඔහු විශ්වාසය පළ කළේය.


නව අදහස දක්වන්න