ශකිබ්-දාස් වාර්තාගත සබඳතාව බංග්ලාදේශයට ජය ගෙනෙති | දිනමිණ

ශකිබ්-දාස් වාර්තාගත සබඳතාව බංග්ලාදේශයට ජය ගෙනෙති

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් කඩුල්ලක් සඳහා වාර්තාවූ ඉහළම සබඳතාවට හිමිකම් කියමින් ශකීබ් අල් හසන් සහ ලිටොන් දාස් දියත් කළ විශිෂ්ට පිති හරඹයන් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල සමගින් ටවුන්ටන්හිදී ඊයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය. මේ ජය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට ඔවුන්ට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ලබා දුන් ලකුණු 322ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය ඕවර 41.3දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.

මේ තරගාවලියේ පිට පිට දෙවැනි ශතකය ලෙස නොදැවී ලකුණු 124ක් රැස් කිරීමට ශකීබ් අල් හසන් සමත්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ලිටොන් දාස් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 94කි.

පන්දු 99කට මුහුණදුන් ශකීබ් හතරේ පහර 16ක් සමගින් ලකුණු 124ක් රැස් කළේ 9 වැනි එක්දින ශතකය ලෙසිනි. මේ සමගින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 384ක් වාර්තා කළ ශකීබ් ලෝක කුසලාන තරගාවලියක වැඩිම ලකුණු රැස්කළ බංග්ලාදේශ පිතිකරු ලෙසද වාර්තා පොතට එක්විය. සිය තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය රැස්කළ දාස් නොදැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටියේ පන්දු 69ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.

ලකුණු 133කට කඩුලු 3ක් දැවී තිබියදි පිටියේ එක්වූ ශකීබ්-දාස් යුගලය පන්දු 135කින් ගොඩනැගූ නොබිඳුණු සබඳතාව ලකුණු 189කි. මෙවර තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තාවු ඉහළම සබඳතාවද මෙය විය. මින් පෙර ඇරොන් ෆින්ච් සහ ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකාවට එරෙහිව තෙවැනි කඩුල්ලට එක්කළ ලකුණු 173 ඉහළම සබඳතාව විය. ලෝක කුසලාන තරගාවලියකදී බංග්ලාදේශය වෙනුවෙන් වාර්තාවූ ඉහළම සබඳතාව මෙන්ම, ඕනෑම එක්දින තරගයකදි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සිවුවැනි කඩුල්ලට වාර්තාවූ හොඳම සබඳතාම මෙන්ම ලකුණු සංඛ්‍යාව අනුව වාර්තාවූ සිවුවැනි හොඳම සබඳතාවද මෙය විය.

ලෝක කුසලාන තරගාවලියක හඹා ගොස් ජය ගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා පොතට එක් විය.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 29ක් ලබාසිටි සෞම්‍ය සර්කාර් ඇන්ඩ්‍රි රසල් හමුවේ දැවී ගියේ මුළු ලකුණු 52 දීය. ඉන් අනතුරුව පිටියට පිවිසි ශකීබ් අල් හසන් ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් සමගින් ලකුණු 69ක් එක් කරමින් සිටියදී ඉක්බාල් (48) දුවද්දි දැවී යෑමට හසුවිය. මුෂ්ෆිකුර් රහීම්ට ඊයේ ලබාගත හැකිවූයේ එක් ලකුණක් පමණි.

බංග්ලාදේශ පිලේ ඇරැයුමෙන් පිටියට පිවිසි කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් සයිෆුඩීන් සමත්වුවත් අනතුරුව පිටියට පිවිසි ශායි හෝප්, එවින් ලුවිස් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 116ක් එක්කරමින් ඉනිම ගොඩනැගීය. මුළු ලකුණු 6ක්ව තිබියදී පිටියට පිවිසි හෝප් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 297ක් ව තිබියදීය. පන්දු 121කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළ හෝප් අවාසනාවන්ත ලෙස දැවී ගියේ ශතකයට ලකුණු 4ක් පසුපසින් සිටියදීය. ඊයේ ඔහු වාර්තා කළේ 12 එක්දින අර්ධ ශතකයයි.

ඉන් පෙර ෂිම්රොන් හෙට්මේර් සමගින් සිවුවැනි කඩුල්ලට පන්දු 43කින් ලකුණු 83ක් සහ 6 වැනි කඩුල්ලට නායක හෝල්ඩර් සමගින් පන්දු 22කින් ලකුණු 39ක සබඳතා ගොඩනැගීමටද හෝප්ට හැකි විය.

සිවුවැනි අර්ධ ශතකය රැස්කළ ලුවිස් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 67කින් ලකුණු 70ක් ලබා සිටියදීය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. හෝප්-හෙට්මේර් සබඳතාව හෙට්මේර්ගේ දැවී යෑමෙන් බිඳ වැටිණි. වේගවත් ඉනිමක් දියත් කළ හෙට්මේර් (50) ඊයේ තෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 26කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය.

ඉනිම අග භාගයේ පිටියට පිවිසි හෝල්ඩර් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 33ක් පන්දු 15ක් පමණක් වැය කරමිනි.


නව අදහස දක්වන්න