උතුරුමැද හිටපු සභාපති ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයන් 7ක් රිමාන්ඩ් | දිනමිණ

උතුරුමැද හිටපු සභාපති ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයන් 7ක් රිමාන්ඩ්

තලාව සමූහ

නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් හිටපු සභාපතිවරයා ඇතුළු හත් දෙනකු මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් පුෂ්පපානි වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ උතුරුමැද පළාත් හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල, අනුරාධපුර මහනගර සහාවේ සභාපති එච්. ටී. සෝමදාස, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ටි.එම්.ඉන්දික නුවන් තෙන්නකොන්, රාජාංගණය ප්‍රාදේශීය උප සභාපති ඩබ්ලිව්. එම්. සමන් නිල්මිණි වීරසිංහ, රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි, ග්‍රාම නිලධාරි ඩී.එල් ජගත් චමින්දසිරි, ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරකු වන උඩහමුල්ල කංකානම්ලාගේ රංජිත් ප්‍රේමලාල් යන අයයි.

1999 වර්ෂයේ දෙසැම්බර් 21 දින පැවැති ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් දෙසැම්බර් 19 දින රාත්‍රි 11ට පමණ රාජාංගණය යාය-9 පදිංචි එවකට තඹුත්තේගම කොට්ටාශභාර මහජන සෞඛ්‍යපරීක්ෂක වර්තමාන අනුරාධපුර දිස්ත්‍රික් ඖෂධපාලක වශයෙන් කටයුතු කරන රංජිත්වේරගොඩ මහතාගේ නිවසට බොම්බ ප්‍රහාරයක් එල්ලකොට නිවසට හා රුපියල් ලක්ෂ 15කට ආසන්න දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් නීතිපති වරයා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබිණි.

එම බොම්බ ප්‍රහාරයෙන් වේරගොඩ මහතාගේ නිවසට දැඩි හානි සිදුවු බවටත් නිවසේ නතරකර තිබු බස්රථයයකට,වෑන්රථයකට හා රජයෙ න් ලබාදුන් රාජකාරි යතුරුපැදියට මේ මගින් දැඩි හානි සිදුවු බවට ඒ මහතා තඹුත්තේගම පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

මීට වසර තුනකට පමණපෙර මොවුන් අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලීසිය උත්සහ කළ අවශ්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත් අතුරු තහනම් නියෝගයක් මගින් එය වළක්වා තිබිණි. නැවතත් පොලීසිය මගින් නිතී උපදෙස් ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටිය දී ඉකුත් 16දා සවස 4දෙනෙකු හා 17දින උදෑසන තිදෙනකු නීතිඥයකු මාර්ගයෙන් තඹුත්තේගම පොලීසියට භාරවූහ.

තඹුත්තේගම පොලීසිය මගින් සියලුම සැකකරුවන් පීඩාකාරි ආයුධ පනත යටතේ චෝදනා ගොනුකර අධිකරණයට ඉදිරිපත් කෙරිණි. විත්තිය වෙනුවෙන් නිතිඥවරුන්වන දර්ශන කුරප්පු, රංජිත් රාජකරුණා, නලින් දිමුතු බණ්ඩාර, ශ්‍රිලාල් මහෙෂ් තලංගල්ල යන මහත්වරුන් පෙනිසිටි අතර, පැමැනිල්ල වෙනුවෙන් පොලීසිය සමඟ නීතිඥ මහින්ද කිත්සිරිද සිල්වා මහතා පෙනිසිටියේය.

සැකකාර උතුරුමැද පළාත් සභාපති ටි.එම්.ආර්.සිරිපාල මහතා අධිකරණයට ගෙන යෑමට පොලිස් ජීප්රථයට නංවද්දී මෙය තනිකරම පලිගැනීමක් බවත් ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයේ මූලික අතිසිවාසිකම් නඩු පවරා පොලීසියෙන් හා පැමිණිලිකරුගෙන් පුද්ගලිකව වන්දි ලබාගන්නා බව පැවසීය.

තඹුත්තේගම පොලීසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප එන්.ජේ අතුකොරළ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප දයාරත්න, පො.කො.දිසානායකයන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

නව අදහස දක්වන්න