ගෝඨාභයගේ පෙත්සමට මූලික විරෝධතා ලබාදෙනවා | දිනමිණ


 

ගෝඨාභයගේ පෙත්සමට මූලික විරෝධතා ලබාදෙනවා

නෙල්කා මැදගෙදර

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි විභාග කෙරෙන නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් එම පෙත්සම් විභාගය පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවෙහි කැඳවන ලෙස පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කරන ලදී. බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක ‍සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ මෙම පෙත්සම්කරු පෙත්සම මඟින් නෛතික නියෝගයක් ඉල්ලා ඇති බවය. ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේ බලය නිසර්ගවම ලැබී ඇති බව ඒ මහතා ප්‍රකාශ කෙළේය. නිසි අධිකරණ බලයක් තිබියදී වෙනම නියෝග ඉල්ලා සිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කෙළේය. ඒ අනුව පෙත්සම ජූලි මස 18 දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි නඩු පවරා තිබිණි. එම නඩුව ඇසීමට එම අධිකරණයට නොහැකි බවට මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර එම විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව අභියාචනා කිරීමට කළ ඉල්ලීමද ප්‍රතික‍්ෂේප විය. ඊට එරෙහිව පෙත්සම්කරු අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්ද ඉදිරිපත් කෙළේය.

එම අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඊයේ (17) කැඳවන ලදී.

නව අදහස දක්වන්න