ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපති නිරීක්ෂණය කරයි | දිනමිණ


 

ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපති නිරීක්ෂණය කරයි

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් කටයුතු ඊයේ (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 මාර්තු මාසයේ දී චීනයේ සිදුකරන ලද නිල සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස චීන රජයේ පරිත්‍යාගයක් අනුව මෙම වකුගඩු රෝහල ශ්‍රී ලංකාවට හිමිවිය.

මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩාවිදින දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාවට තිබූ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සුපරාලමින් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස පොළොන්නරුව මහ රෝහලට නුදුරුව ඉදිකෙරෙන චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සඳහා පසුගිය වසරේ ජූලි මස 21 වැනි දින ජනාධිපතිවරයා අතින් මුල්ගල් තැබිණි.

ඇඳන් 204 කින්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීනතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් සමන්විත රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12කි.

ඊයේ (17) පෙරවරුවේ එම පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලූ අතර අදාළ ඉදිකිරීම් සමාගමේ නිලධාරින් සමඟ ද සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රගතිය විමසා බැලීය. රෝහලේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් අතර ඉතිරි නිමකිරීම් කඩිනමින් සිදුවන බවත්, 2020 ජූලි 30 වනවිට සියලූ කටයුතු සාර්ථකව නිමකර රෝහල ජනතා අයිතියට පවරාදීමට හැකියාව තිබෙන බවත් එහිදී සඳහන් කෙරිණි.

මේ අතර රෝහලේ ඉදිකිරීම් පසුගිය දා චීන රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමකගේ ද අධීක්ෂණයට ලක් වූ අතර නිසි සැලැස්මට සහ ප්‍රමිතීන්ට අනුකූලව අදාළ ඉදිකිරීම් සිදුවන බවට චීන රජය ද සහතික කැර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි දී අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ මෙම රෝහලේ ඉදිකිරීම් කඩිනම් කැර වගුකඩු රෝගයෙන් පීඩාවිදින දිවයින පුරා අහිංසක ජනතාවට කඩිනම් ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙසයි.

පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න