මෙල්වා ආයතනයෙන් මීගමුව රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක් | දිනමිණ


 

මෙල්වා ආයතනයෙන් මීගමුව රෝහලට ළමා වාට්ටු සංකීර්ණයක්

මෙල්වා සමූහ ව්‍යාපාරයෙන් මීගමුව රෝහලට රුපියල් මිලියන 200ක වියදමින් පසුගියදා අංගසම්පූර්ණ ළමා වාට්ටුවක් ඉදිකර රජය වෙත භාරදීම සිදුවිය.

උත්සවාකාරයෙන් සිදුකෙරුණු මෙම සුවිශේෂී පරිත්‍යාගය පිළිබඳව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ.

‘බ්‍රිතාන්‍ය සමයේ ඉදිකිරීම්වලින් සමත්විතව පැවති මීගමුව රෝහල කාලීන අවශ්‍යතා සලකා කඩිනමින් ඉදිකිරීම් සිදු කළද ළමා වාට්ටුවක අවශ්‍යතාව වඩාත් දැඩිව පැවති අවස්ථාවක එම ජාතික කර්තව්‍යයට උරදුන් මෙල්වා සමූහ ව්‍යාපාරය මෙන්ව, පෞද්ගලික අංශයේ ධන පරිත්‍යාග හරහා මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතාට සිය ප්‍රණාමය පුදකරන බවයි.

උත්සව සභාව අමතමින් සුරක්ෂා වාට්ටු සංකීර්ණයේ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතාගේ කතාව පිළිබඳව රැස්ව සිටි කාගේත් අවධානය යොමු වූයේ ලක්කුමාර මහතාගේ කතාව ඇසුරින් එතුමාගේ වෘත්තියට ඔබ්බෙන් ගොස් සිතීම, ක්‍රියාත්මක වීම හේතුවෙන් සමාජය වෙත කළ හැකි සුබවාදී මෙහෙවර පිළිබඳ සුබවාදී ආකල්ප ගොනුවූ නිසාවෙනි.

“අද මගේ ජීවිතේ වැදගත් දවසක්. අපිට මෙවැනි දේවල් දකින්න, අහන්න ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්. සාමාන්‍යයෙන් අපේ රටේ වසරකට ඩෙංගු රෝගීන් 30000 – 50000 ක් අතර ප්‍රමාණයක් හමුවෙනවා 2017 දී මේක ලක්ෂ දෙකක් පමණ ඉහළ ගියා. ඒ අවස්ථාවේ මීගමුව ‍රෝහල රෝගීන් නිසා අතුරු සිදුරු නැතිව පිරී ගියා. ඒ අවස්ථාවේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ අවධානය අපගේ රෝහල වෙත යොමු වුණා. රෝහලේ තත්ත්වය නිරීක්ෂණ කිරීමට පැමිණි ජනාධිපතිතුමාත් සෞඛ්‍ය ඇමැතිතුමාත් අවධාරණය කළේ නව වාට්ටුවක් ඉදිකිරීමට සැලසුම් කළ යුතු බවයි.

2017 ජුලි මාසේ මෙල්වා ආයතනයේ අධ්‍යක්ෂක මුරුගානන්ද මහතාගේ පුතාට පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර කිරීමට මට හැකි වුණා. ඒ වෙලාවේ අපි අතර සුහද මිත්‍රත්වයක් ගොඩ නැගී තිබුණා. දිනපතාම මා හමුවුනාම මුරුගානන්ද මහතා රෝහලේ විස්තර අහනවා. ඒ අතර අඩු පහසුකම් හේතුවෙන් අපි මුහුණපාන දුෂ්කරතාව පිළිබඳව පැවසුවා. ඒ අනුවයි තම පවුලේ දායකත්වයෙන් මීගමුව රෝහලට ළමා වාට්ටුවක් ඉදිකිරීම සඳහා මෙල්වා ආයතනය සිය දායකත්වය ලබාදීමට ඉදිරිපත් වූයේ.

ඒ අනුව අපි ඉදිකිරීම් සඳහා ආදර්ශ කොට ගත්තේ රත්නපුර රෝහලේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ ළමා වාට්ටු සංකීර්ණයයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කළත්, අතරමඟ බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවුණා. විශේෂයෙන්ම ඉදිකිරීම් කටයුතුවලට වඩා කල් ගතවූයේ පැරණි වාට්ටු සංකීර්ණය ඉවත් කිරීමටයි. කනගාටුදායක කරුණ අපගේ පරිපාලන නීති, රීති, ක්‍රියාත්මක වන අන්දමට යමක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන කෙනෙකුට එසේ පරිත්‍යාග කිරීම කරදරයක් ලෙසට හැ‍ඟෙන තරමට අපගේ එම පරිපාලනමය කටයුතු අනම්‍යශීලීයි. එවැනි අවස්ථාවන් පසුකරමින් ලංකාවේ තිබෙන හොඳම ළමා වාට්ටු සංකීර්ණය අද විවෘත කිරීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙසයි මා දකින්නේ.”

උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ මෙල්වා සමූහ ව්‍යාපාරයේ සංවර්ධන අධ්‍යක්ෂ මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසුවේ ඉතිහාස නිර්මාණය කළේ අපි වැනි මිනිසුන් ව්‍යාපාරික ආයතනයක් ලෙස අපි පරිත්‍යාගයන් බොහොමයක් අප්‍රසිද්ධියේ සිදුකළද මෙම පරිත්‍යාගය ප්‍රසිද්ධ කිරීමට සිතුවේ රජයට මෙන්ම පෞද්ගලික අංශයේ අනෙකුත් අය වෙත පෙළඹවීමක් ඇති කිරීම සඳහායි. මෙවැනි සත්ක්‍රියාවක් කළ හැකි බව මෙන්ම මෙවැනි දේවල් සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබාගත හැකි බව අද දින අපි ප්‍රායෝගිකව පෙන්වා දී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල විශ්වවිද්‍යාල, රෝහලේ පෞද්ගලික අංශයන් ඉදිකර තිබෙනවා”

මෙල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මුරුගානන්ද මහතා පවසා සිටියේය.

මෙවැනි සත් ක්‍රියාවකට සම්බන්ධවීම පිළිබඳව පවුලක් ලෙසින් ඔවුන් අතිශය සතුටට පත්වෙන බවයි. 2017දී අප මේ රෝහලට පැමිණ නිරික්ෂණ කරන විට දුටුවේ එක ඇඳක දරුවන් පස්දෙනෙකු ප්‍රතිකාර ලබන දුෂ්කර ආකාරයයි’ මෙම කාර්ය මැනවින් කිරීම සඳහා වෛද්‍ය ලක්කුමාර මහතාගේ කැපවීම, උත්සාහය, දිරිමත්බව පිළිබඳවද මුරුගානන්ද මහතා විශේෂයෙන්ම සඳහන් කළහ.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා, කාවින්ද ජයවර්ධන මහතා ආදීන් මෙන්ම මෙල්වා සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී ධනභාගසම් මැතිනිය මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයද සහභාගි වූහ.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න