රට රැකියාවට සමුදුන්නේ මෙරට ව්‍යවසායකයකු වීමටයි | දිනමිණ

රට රැකියාවට සමුදුන්නේ මෙරට ව්‍යවසායකයකු වීමටයි

ඩික්සන් බුද්ධකෝරලගේ

දහවෙනි මහලේ සිට බලනවිට පාන්දර වුව ‘මිලානෝ’ නගරය විදුලි එළි නිසා දිස්වෙන්නේ සැණකෙළි බිමක් ලෙසිනි. එහෙත් ඩික්සන්ට දහවෙනි තට්ටුවේ මොහොතක් නතර වී ඒ සුන්දරත්වය නැරඹීමට තරම් ඉන්පාසුවක් නැත. ඔහුගේ කාර්ය වී ඇත්තේ දහවෙනි තට්ටුවේ සිට පළමු මහළ වෙත කුණු බෑග් රැගෙන යාමයි. උදෑසන පැය දෙකක් ඇතුළත එවැනි ගොඩනැගිලි 8 ක කුණු අදින ඔහු තට්ටු 80 ක් නැගිය බැසිය යුතුය. එම කටයුතු නිමාකොට ඔහු දුම්රියට නැගුණේ අනෙක් නගරයට යාමටයි. ඒ තවත් වැඩමුරයක් සඳහායි.

ඩික්සන් උපත ලැබුවේ හික්කඩුව වැල්ල ආසන්නයේයි. ඩික්සන්ගේ ළමා කාලය වඩාත් සුන්දර වූයේ හත්දෙනෙකුගේ යුත් පවුලක බඩපිස්සා වීම නිසාය. සහෝදරයන්ගේ සහෝදරියන්ගේ සුරතලා වූ ඩික්සන් ආදරය මැද හැදුණු වැඩුණු ආදරණීය මිනිසෙක් ලෙස හැඳින්වීමට ඔහුගේ ජීවන තොරතුරු මනාව සාක්ෂි දරයි.

ඔහු මුලින්ම විදෙස්ගතවී තිබුණේ 2004 වර්ෂයේදීය. එතැන් පටන් අන් විකල්පයක් නැතැයි සිතමින් තමාට භාර වූ ඕනෑම කටයුත්තක් මැනවින් කිරීම නිසාම ඉතාමත් කෙටි කලෙකින් ඉතාලි වැසියන්ගේ විශ්වාසය දිනාගත් මැනවින් මුදල් උපයන්නෙත් බවට පත්වීමට හැකිවිය.

වසර 10 ක් සේවය කරන අතර තුර ඔහු ඉතිරිකළ මුදල මෙරට ආයෝජනය කළේ ඉඩමක් මිලදී ගැනීම සඳහාය. ඒ අනුව තල්පේ ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගත් ඔහු එය නවීන පන්නයේ කාමර සහිත අවන්හලක් ඉදිකළේය. ඒ සඳහා පෞද්ගලික බැංකුවකින් ණය මුදල් ලබාගත් ඔහු එම ණය මුදලද මැනවින් ගෙවමින් තම දහදිය මහන්සියෙන් ඉපැයූ සියල්ල මෙරට ආයෝජනය කළේ මෙරට සංචාරක කර්මාන්තයේ අනාගතය පිළිබඳව විශ්වාසය තබමිනි.

එහෙත් හදිසියේ ඩික්සන්ගේ සොයුරා වියෝ වීමෙන් ඔහු එසේ ගෙවමින් තිබූ ජීවන රිද්මය ව්‍යාකූල වන අතර දාරක ප්‍රේමයේ වැළපෙන ඩික්සන්ගේ මාපියන් සනසනු වස් ඔහු ඉතාලි නොගිහින් මෙරට නතර වූයේ වියෝ දුක වාවාගත නොහැකිවය.

එසේ වූවත් ඒ වනවිටත් ලබාගෙන පැවති වාහන ලීසිං ණය වාරික මෙන්ම අවන්හල ඉදිකිරීම සඳහා ගත් ණය ගෙවාගත නොහැකි තත්ත්වයක් උද්ගත විය. එහිදී පෞද්ගලික බැංකුවේ නියෝජිතයාගේ උත්සාහ වී තිබුණේ ඩික්සන් සතු දේපළ අඩු මුදලකට තම සඟයෙකුට අලෙවි කිරීම ය. නමුත් දහදිය මහන්සියෙන් ජීවිත කාලයම ඉපැයූ දෙය එලෙස ඔහුට අහිමිවීම සොබාදහමට නම් කිසිසේත්ම ඉවසිය නොහැකි දෙයක් විය. ඩික්සන් තම උත්සාහය අත්නොහළේය. දේපළ වෙන්දේසියට දින නියම විය. ඩික්සන් නඩු මඟ තෝරා ගත්තේය. එහිදී තීරණය වූයේ සමාදානයයි. අවන්හල සමඟ පිහිටි ඉඩමේ කොටසක් අලෙවි කර ඩික්සන් ණය සියල්ල පියවා දැමූ අතර නැවත වරක් තල්පේ පිහිටි අවන්හල වෙනත් බැංකුවක තැබුවේය. ඒ නුවරඑළියෙහි අවන්හලක් පවත්වා ගෙන යාමට අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහාය.

මම නුවරඑළියට කැමතියි. කාලයක් මට අයියත් එක්ක නුවරඑළියේ පොඩි පොඩි ව්‍යාපාර කරලා පුරුද්දක් තිබුණා. හික්කඩුව පැත්තේ සංචාරක ආකර්ෂණය පවතින්නේ වසරේ පොඩි කාලසීමාවකට පමණයි. නමුත් නුවරඑළිය ප්‍රදේශයට නිරන්තරයෙන් සංචාරකයන් පැමිණෙනවා. ඒ වගේම නුවරඑළියේ ගියාම කෙනෙකුට කන්න බොන්න තැනක් හොයා ගන්න අමාරුයි. ඒනිසා මට හිතුණා නුවරඑළියේ ‘Sea Food Restaurant’ එකක් ආරම්භ කරන්න.

මම මේ අවන්හල ආරම්භ කළේ 2018 පෙබරවාරි මාසයේය. දවසින් දවස මගේ හෝටලයට එන පිරිස වැඩිකර ගැනීමට හැකි වුණා. මාස 5 ක පමණ කාලයක් ණය මුදල් ගෙවමින් ඉතාමත් හොඳ ලාභයක් ලබාගන්න හැකිවුණා. ඒත් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ අපිට අත්වුණේ මහා කනගාටුදායක තත්ත්වයක්. මා සමඟ 6 දෙනකු පමණ සේවය කරනවා. කෙටි කාලයකින් ඉතාමත් හොඳ තත්ත්වයට Sea Food අවන්හල පත්කිරීමට මම කටයුතු කළා. ඒ තත්ත්වයට මාව පත්කළේ කැපවී කටයුතු කළ නිසයි.

මට වුවමනා වුණේ පාරිභෝගිකයන්ට අලුත් ආහාරවලින් සංග්‍රහ කරන්න. විශේෂයෙන්ම අලුත් මාළුවලින් සංග්‍රහ කිරීමට සැපයුම්කරුවන්ට මාළු ලබාදිය හැකි වුත් සති දෙකකට වතාවක් ඒ නිසා මම පෑලියගොඩ මාළු මාකට් එකට සතියේ දින දෙකක් යනවා. ගිහින් මමම තෝරාගෙන හොඳ අලුත් මාළු ගන්නවා. ඒ හේතුවෙන් ලාභය වගේම හොඳ නැවුම් ආහාර මගේ පාරිභෝගිකයන්ට දෙන්න මට හැකියාව ලැබුණා. අදටත් නුවරඑළියේ Sea Food ආහාර අවන්හලක් තියෙනවා නම් ඉහළින්ම තියෙන්නේ මගේ අවන්හල.

‍ෙකාහොම වුණත් අප පත්වී සිටින්නේ මහත් දුෂ්කරතාවයකට. මේ තත්ත්වය කඩිනමින් පහවේවි කියා අපි කාගේත් අපේක්ෂාව.

බුද්ධිකා බ්‍රාහ්මණගේ


නව අදහස දක්වන්න