චිත්‍ර කතා වැටුණේ පරණ වීරයෝ නිසයි | දිනමිණ

චිත්‍ර කතා වැටුණේ පරණ වීරයෝ නිසයි

චිත්‍ර ශිල්පී ලලිත් රත්නායක

චිත්‍ර කතාව කලාව එකල උන්මාදයක්ව පැවැතිණි. ඒ යුගය තුළ බිහිවූ සිත්තරුන්ද සුපිරි තරුම විය. ඒ සිත්තරුන් ගිය මගම යමින් බිහිවුණු , ඉන් පසු පරපුරේද දක්ෂ ශිල්පීහූ තම හැකියාවෙන් චිත්‍ර කතාව ප්‍රභාමත් කළහ. ලලිත් රත්නායක යනු පසුපරපුරෙන් බිහිවූ එවැනි සුවිශේෂ චිත්‍ර ශිල්පියෙකි.

l ඔබ චිත්‍රකතා අඳින එක විතරමද කරන්නේ?

මම පටන්ගත්තේ චිත්‍ර කතා ශිල්පියෙක් විදිහට වුණත්, අද එය මගේ වෘත්තිය නෙමෙයි. මොකද අද චිත්‍රකතාව වෘත්තීය කරගන්න පුළුවන් තැනක නෙමෙයි තිබෙන්නේ. මං වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයනයක චිත්‍ර ශිල්පියෙකු ලෙස සේවය කරනවා. නමුත් ඇත්තටම මගේ වැඩි කැමැත්තක් තිබෙන්නේ චිත්‍ර කතා අඳින්නයි.

l චිත්‍ර අඳින්න පටන් ගත්තේ මොන කාලයේදීද?

මං පොඩි කාලෙ ඉදලාම චිත්‍ර ඇන්දා. පස්සේ ඒ ඇඳපු චිත්‍ර මං පත්තරවලටත් එව්වා.එයින් සමහර ඒවා පළවුණා. පසුව මගේ පාසල් අධ්‍යාපනය නිමවීමෙන් පසු ඒ කාලේ තිබුණු යොවුන් පත්තරයකට එක් වුණා පිටු සැකසුම් ශිල්පියෙක් සහ චිත්‍ර ශිල්පියෙකු ලෙස.1997 දි තමයි මම මුලින්ම චිත්‍ර කතාවක් ඇන්දේ. ඒ එකල තිබුණු යොවුන් පුවත්පතක් වන ‘සඳරේණු ‘ පුවත්පතට. පස්සේ තවත් පත්තර කිහිපයකටත් චිත්‍ර ඇන්දා.

l මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්න ඔබට යම් විශේෂ පෙළැඹවීමක් සිදුවුණාද?

ඒ කාලෙ අපේ ගෙවල් ලග හිටපු අයිය කෙනෙකු ගෙනාපු චිත්‍ර කතා පත්තර මං ආසාවෙන් බැලුවා. අකුරු කියවන්න බැරි කාලේ සිටම ඒ සදහා මම පෙළඹිලා හිටියා. ඒවා බලලා මටත් හිතුණා කවදා හරි චිත්‍ර කතා ශිල්පියෙක් වෙන්න. ජනක රත්නායක, අනුර ශ්‍රීනාත්, අරවින්ද, වසන්ත ශ්‍රීනාත් වගේ ශිල්පීන්ගේ චිත්‍ර වලට මගේ විශේෂ කැමැත්තක් තිබුණා. ඔවුන්ව කොපි කළේ නැතත් ඒ අයගේ චිත්‍ර රටා මගේ ගමනට විශාල බලපෑමක් කළා.

l අතීතයේ චිත්‍රකතා කලාව උන්මාදයක්ව පැවතුණත්, ඔබ ක්ෂේත්‍රයට එන විට එය අභාවයට යමින් පැවතුණා?

කවුරුත් හිතුවේ නෑ, චිත්‍ර කතා කලාවට මෙහෙම ඉරණමක් අත්වෙයි කියලා. නොයෙක් දෙනා විවිධ මත පළකරනවා චිත්‍ර කතා කඩාවැටීම පිළිබඳව. මගේ මතය ඊට වෙනස් එකක්.

l ඔබේ මතය?

ගොඩක් දෙනා කියනවා චිත්‍ර කතා කඩාවැටීමට රූපවාහිණිය, සිනමාව වගේ දේවල් බලපෑවා කියලා. නමුත් ලෝක සිනමාව හෝ රූපවාහිනී කලාව එක්ක බලනවිට අපේ සිනමාව හෝ රූපවාහිනිය තිබෙන්නේ වෙනත් තැනක. එයට චිත්‍රකතාව වැනි මාධ්‍යකට එතරම් බලපෑමක්කරන්න පුළුවන් කියා මා හිතන්නේ නෑ. මං හිතන දේ තමයි අලුත් පරපුරට හරියන්න ශිල්පීන් යාවත්කාලීන වුණේ නැහැ කියන එක. පරණ වීරයා සහ පරණ ආදර කතා චරිතම තමයි නිර්මාණය වුණේ. පාඨකයාට එය නීරස වුණා. අනික හොඳ චිත්‍රකතා අඳින ශිල්පීන් බිහිවුණේ නැහැ පසුකාලීනව. මේ වගේ හේතු බලපෑවා චිත්‍රකතාව කඩා වැටීමට.

l ඉස්සර චිත්‍ර ශිල්පීන්ට වඩා අද ශිල්පීන් බොහෝවිට තාක්ෂණය ඉහළින්ම පාවිච්චි කරනවා ?

තාක්ෂණය කියන්නේ හොඳ දෙයක්. නමුත් එයට වහල් විය යුතු නැහැ. තාක්ෂණයට එන්න කලින් පැන්සලෙන්, පාට වලින්, පින්සලෙන් අඳින්න පුරුදු විය යුතුයි. නමුත් අද නවක බොහෝ ශිල්පීන් මුලින්ම තාක්ෂණය භාවිතා කරමින් චිත්‍ර අඳින බව සමාජ මාධය ජාලා වලින් දකිනවා. ඒක හරිම වැරදියි. මමත් ලෝකයේ තිබෙණ ඉහළම තාක්ෂනය පාවිච්චි කළත් කඩදාසිය පැන්සල අමතක කරලා නැහැ. සමහර ප්‍රවීණ ශිල්පීන් තාක්ෂණය තොතකා හැරීම තුළ යම් තැනක සිරවී සිටින අවස්තා පවා තිබෙනවා.

l බොහෝ චිත්‍ර ශීල්පීන් කියන්නේ අපේ රටේ ඔවුන්ට නිසි අගැයීමක් නැති බවයි. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

එහෙම ප්‍රශ්නයක් නම් තිබෙනවා තමයි. චිත්‍ර ශිල්පියාගේ වටිනාකම සමාජය හෝ මුදලාලිලා හඳුනන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ශිල්පියා දැනගත යුතුයි ඒ වටිනාකම තේරුම්ගන්න. අද අපි අතර බොහොම අඩුමිළට චිත්‍ර අඳින ප්‍රවීණ ශිල්පීන් පවා සිටිනවා. එයත් බලපානවා ශිල්පියාගේ අගය බාල්දු වෙන්න. මම නම් මගේ හැකියාවේ වටිනාකමට අඩු මිලකට නිර්මාණ කරන්න සූදානම් නැහැ. අනිත් ශිල්පීන්ට එහෙම වෙන්න පුළුවන්නම් ඔය කියන අගැයීම, වටිනාකම හදාගන්න පුළුවන් වෙයි.එය හදා ගැනීම ශිල්පියා සතු වගකීමක්. අනික අද අපේ රටේ චිත්‍ර ශිල්පියෙක් ගැන බලන්නේ "ඕවා කරලා ඇති වැඩක් නැහැ" කියන හැඟීමෙන්. දරුවෙකුට වුණත් දිරිගැන්වීමක් කරන්නේ නැහැ. ඒක වැරදියි. මටත් ඉන්නවා වසක අවුරදු පහක දුවෙක්. මං එයාට උපරිමයෙන් උදව් කරනවා එයාගෙ හැකියාවට. හැම දරුවෙකුගේම ඇඟේ චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා. කාලයක් යනවිට එය වෙනස් වෙන්න පුළුවන්. නමුත් මව්පියන් වශයෙන් දරුවෙකුගේ මේ විශේෂ හැකියාවට උදව් කළ යුතුයි. එයින් සමාජයට චින්තනයෙන් පිරුණු පුද්ගලයෙකු බිහිවෙනවා.

l ඉදිරියේදී ඔබ අතින් කෙරෙන නිර්මාණකටුතු ගැන කතා කළොත් ?

මං වැඩ කරන්නේ වෙළෙඳ ප්‍රචාරන කලාවක් එක්ක.නමුත් මගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා 3D චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒක කාලයක පටන් තිබෙන ආශාවක්. ඉදිරියේදී කොහොම හරි එවැනි දෙයක් කරන්න තමයි බලාපොරොත්තුව.

සංවාදය දර්ශ කපුගේ


නව අදහස දක්වන්න