ලෝකෙ කොහෙත් සම්මාන විවේචනය වෙනවා | දිනමිණ

ලෝකෙ කොහෙත් සම්මාන විවේචනය වෙනවා

මංජුල සේනාරත්න

පුවත්පත් කලාවේදියකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා, වයස අවුරුදු 21දී ප්‍රංශය ඔහු බලා පිටත් වූයේ, ප්‍රධාන කෝකි තනතුරක කටයුතු කිරීම සඳහා ය. 1996 වසරේ ප්‍රංශයේදී ‘සසල සිත‘ ටෙලි නාට්‍ය තිර රචනය කළ අතර ‘කවුළුව‘ සඟරාව, වසර තුනක් පුරා අතිශය ජනප්‍රිය සඟරාවක් ලෙස සංස්කරණය කිරීමට ඔහුට හැකි විය. 2012 වසරේ සිය ප්‍රථම නවකතාව ‘ප්‍රියා සමඟ ඉරිදාවක්‘ රචනා කරමින් ගත්කතුවරයකු බවට පත් වූ ඔහුගේ 6 වැනි ග්‍රන්ථය, නැතහොත් 4 වැනි නවකතාව වන්නේ, 12.12.12ය. මංජුල සේනාරත්න ලියූ මේ කෘතිය හා ඔහුගේ ලේඛක දිවිය පිළිබඳ, ඔහු සමඟ කළ කතාබහකි මේ.

මේ පොත ලිවීමට ඔබට නිමිති වූයේ කුමක්ද?

12.12.12. රහස් පරීක්ෂක ශානරයේ කතාවක්. මෙතෙක් මම ලීවේ ආදරය, පවුල් සංස්ථාව වගේ මාතෘකා යටතේ. ඒත් මේ වගේ රහස් පරීක්ෂක කතාවක් ලියන්න හේතු වුණේ, මම මීට අවුරුදු 25ට විතර කලින් ප්‍රංශයට ගිය කාලේ ඉංග්‍රීසියෙන් කියවන්න ගත්තේ රහස් පරීක්ෂක පොත්. මුලින්ම ජෝන් බිෂම්, මයිකල් ක්‍රිස්ටන්, එලිසබත් ජෝජ්, විශේෂයෙන්ම ආතර් කොනන් ඩොයිලිගේ ෂර්ලොක් හෝම්ස් කතාවලින්. ඒ ශානරයේ පොත් අති විශාල සංඛ්‍යාවක් කියවීමෙන් ලද ආභාසය තමයි මේ පොතට හේතු වුණ මුල්ම කරුණ.

දෙවැන්න ප්‍රංශ පුවත්පතක දුටු කුඩා පුවතක්. යම් අපරාධයක් වුණාම මූලික වශයෙන්ම සැකයට බඳුන් වෙන්නේ, ඒ අපරාධයට ලක් වූ කෙනාගේ ළඟම පිරිස. ඒ වගේ වෙලාවක සැමියා හෝ බිරිය, සමීපතම පුද්ගලයා ලෙස සැකයට ලක් වුණාම කොහොමද එයින් මිදෙන්නේ කියන කරුණ ඉතා වැදගත්. ඒ ගැනත් මට උනන්දුවක් ඇති වුණා.

රහස් පරීක්ෂක කාර්යය විද්‍යාවක්. ඔබේ පොතේ කරුණු විශ්වසනීයව ගෙන එන්න නම් ඒ විද්‍යාව ඔබට තරමක් දුරට හෝ හදාරන්න වෙනවා?

ඒක වුණේ මෙහෙමයි. මම මේ පොත ලියන්න පටන් ගත්තේ 2014 වසරෙ. ඒ වෙද්දි මගේ කට සටහන මට තිබුණා. මම ප්‍රංශ පොලීසියට ගියා මේ ගැන දැනගන්න. සාමාන්‍යයෙන් ඔවුන් තමන්ගේ ක්‍රමවේද කියන්නේ නැහැ. ඒත් මට වාසනාවට එක් පොලිස් පරීක්ෂකවරයෙක් හමු වුණා සාෂා රුඩ්වික් කියලා. ප්‍රංශයේ රහස් පරීක්ෂකවරු නැහැ. පොලිස් පරීක්ෂකවරු තමයි ඉන්නේ. මම මාස 6ක් තිස්සේ එයා සමඟ විවිධ අවස්ථාවල රැඳී සිටියා. සාමාන්‍ය පුද්ගලයකුට දකින්න නොලැබෙන බොහෝ දේ එයා මට පෙන්නුවා. පැරිස් මහ පොලීසිය කියන්නේ සුවිශේෂී ස්ථානයක්. එහි බන්ධනාගාරය, මෘත ශරීරාගාරය, රස පරීක්ෂක අංශය සමඟ පොලිස් පරීක්ෂකවරු කොහොමද අපරාධයක පසුපස හඹා යන්නේ කියන කරුණු මට දකින්න ලැබුණා.

ඔහුගේ නමත් රහසක්ද?

නැහැ. නැහැ. මම එක් අවස්ථාවක ඇහුවා, ඔබ කළ උදවුවට මම ප්‍රතිඋපකාර දක්වන්නේ කොහොමද? කියලා. ඔහු කීවා ඔබේ පොතේ චරිතයකට මගේ නම දාන්න කියලා. මගේ පොතේ චරිතයක් තිබෙනවා ඔහුගේ නමින්.

එය ප්‍රංශ රජයට හෝ ඒ නිලධාරියාට ප්‍රශ්නයක් නොවේද?

එහෙම වුණේ නැහැ. මොකද මේ කතාව හා සම්බන්ධ සියලු සිදුවීම්, උදාහරණයක් විදිහට පොලිස් පරීක්ෂකවරු කොහොමද ඒ පසුපස යන්නේ? ඩීඑන්ඒ පරීක්ෂණ කරන්නේ? වැනි පොලිස් ක්‍රියාකාරකම්වලට අදාළ තොරතුරු සියල්ල සත්‍ය ඒවා.

ප්‍රවෘත්තියෙන් පමණක් ඔබට පොතක් ලියන්න බැහැ?

ඔව්. ප්‍රවෘත්තියට අමතරව හුදෙක්ම පරිකල්පනය තමයි මට මේ පොත ගොඩ නඟන්න ඉවහල් වුණේ. මෙය සත්‍ය කතාවක්ද? පරිකල්පනයක්ද? කියලා ඒත් මට ඔබට දැන්ම කියන්න බැහැ. මමත් මගේ ප්‍රකාශකයන් වන මියුසස් ආයතනයත් විශ්වාස කරනවා, හැම රහස් පරීක්ෂක පොතක් පිටුපසම තිබෙන අබිරහස, පොත කියවා ඉවර වූ පසුත් ඔබට එසේම දැනෙන්නට හැරීමයි.

රහස් පරීක්ෂක කතාවක ආකෘතිය අනෙක් කතාවලට වඩා වෙනස් විය යුතුයි?

මේකත් විශේෂ ක්‍රමයක කතාවක්. මෙය දිවෙන්නේ දින හතක් තුළ. වුණේ මේකයි. ප්‍රංශ ලේඛකයෙක් ඉන්නවා බර්නා මිනි කියලා. එයාගේ පොත්වල තිබෙන කතා හරි ම කෙටිකාලීනයි. ඒ කියන්නේ එක්කෝ දවස් දහයයි. නැත්නම් මාසයයි. අවුරුද්දයි. එයා භාවිත කරන්නේ රියල් ටයිම් රයිටින් කියන ක්‍රමය. ඒ කියන්නේ දවස් පහේ කතාව ලියන්නේ දවස් පහෙන්. මාසෙක කතාව ලියන්නෙ මාසෙන්. හැබැයි මුළු කතාවම එතැන නැහැ. ආකෘතිය පමණයි. පස්සේ ඒක වර්ධනය කරනවා. මම මේ කතාව ලිව්වේ ඒ වගේ දවස් නවයකින්. ඒ කාලය තුළ පිටු 80ක කතාවක් ලියලා, ඊට පස්සේ අවුරුදු හතරක් පුරා අවශ්‍ය අනෙක් දේ එකතු කළා. මේ නවකතාවෙත් විශේෂ ආකෘතියක් නැහැ. සාමාන්‍ය රහස් පරීක්ෂක පොතක ඉදිරිපත් කිරීම තිබෙන්නේ. මේ කතාවට සම්බන්ධයි, ශ්‍රී ලංකාව, ප්‍රංශය සහ දකුණු ස්පාඤ්ඤයේ මලාගාර් කියන නගර.

මෙහි භාෂාවත් ඊට ගැළපෙන්න යොදා ගන්න වෙනවා?

හුදෙක්ම කතාව ගලායාම ඉක්මන් කරන්න වෙනවා. ඒකට හේතුව, සිදුවන ක්‍රියාකාරකම් වේගවත්. පාඨකයා ඒ සමඟ රඳවා ගතයුතුයි. ඊට අමතරව මෙහි ආදර කතාවකුත් තිබෙනවා. ඒ නිසා, හැකි තරම් කුතුහලය රඳවා තබමින්, පොලිස් පරීක්ෂකවරු, අපරාධකරුවන් පසුපස යන ආකාරයට, වේගයෙන් පොතේ පිටු පෙරලන්න හිතෙන ආකාරයට ගොඩනඟන්න උත්සාහ කළා. හැබැයි අපේ මහා සාහිත්‍ය තුළ මෙය එක් ශානරයක් පමණක් නිසා, ඒ සාහිත්‍යමය කෘතිවල වගේ සිදුවීම් දිගින් දිගට විස්තර කරන්න, අලංකරණ සඳහා යොදන සාහිත්‍ය, මේ පොතේ නැහැ. ඒ වගේම ප්‍රංශ චරිත නිසා ඒ අයගේ ශෛලියට අනුව යන, පාඨකයාට අපහසුවක් නොදැනෙන, වේගවත් භාෂා භාවිතයකට කටයුතු කළා. මෙය, මගේ පොත්වලින් වැඩි ම වේගයක් තිබෙන භාෂාවක් සහිත පොත කියන්න පුළුවන්.

දින නවයකින් නවකතාවක් ලිවීමේ අත්දැකීම කොහොමද ඔබට දැනුණේ ?

මට 2012 අවුරුද්දේ දවස් දහයක නත්තල් නිවාඩුවක් ලැබුණා. ඒ කාලේ මගේ පවුලේ කවුරුත් නිවෙසේ හිටියේ නැහැ . මට කරන්න දෙයක් නැති නිසා, මම කට්ටියට කිව්වා මේ කාලය ඇතුළත මම පොතක් ලියනවා. ඒ නිසා මට කරදර කරන්න එපා කියලා. ඒ වගේම බර්නා මිනි කියන ලේඛකයාගේ අත්දැකීම ලබන්නත් මට වුවමනා වුණා. මගේ ප්‍රධාන චරිතය උදේ හයට නැඟිටිනවා නම්, මමත් පටන් ගත්තේ උදේ හයට. එයා දවසේ ක්‍රියාකාරකම් කරන ආකාරයට, මම දවසේ කටයුතු පිළිබඳ පදනම දාගත්තා. පිටු 80 හැදුණේ එහෙමයි.

අපේ සිංහල කෘති වෙනත් භාෂාවලට පරිවර්තනය වෙනවා අඩුයි?

ප්‍රධානම දේ හොඳ පොත් බිහි නොවීම වන්න ඇති. අනෙක ප්‍රකාශකයන්ගේ උනන්දුව මදකම වෙන්න ඕනා. උදාහරණයක් විදිහට මගේ ප්‍රකාශකයන් විදේශ භාෂාවලට කෘති පරිවර්තනය කරන්න විශේෂයෙන් උනන්දු වෙනවා . මේ පොත සම්බන්ධවත් එවැනි තීන්දු කීපයකට මූලික අඩිතාලම දමා තිබෙනවා. ඒ සියල්ල මේ මොහොතේ කියන්න අපහසුයි. පිටරටක ඉඳන් මවුබිමේ පොත් ලිවීම තරමක අභියෝගයක්. පාඨක ප්‍රතිචාර ලබා ගන්න අපහසුයි. ඒත්, මගේ හතර වැනි පොතට ජීවිතයෙන් මාස හයක් සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණ නිසා, මේ පොත ලියැවුණා. ඒ වගේම මෙයට ලැබෙන ප්‍රතිචාර අනුව තමයි මගේ ලේඛන දිවිය ඉදිරියට ගෙනියනවාද කියලා තීරණය කරන්නේ. පොත් කියවන එක ජීවිතය වෙන්න පුළුවන්. ඒත්, පොත් ලියන එක ජීවිතය නොවෙයි. ඒ නිසා මම මොකටද මගේ කාලය නාස්ති කරන්නේ?

ඔබ ප්‍රංශ භාෂාවෙන් නිර්මාණ කර තිබෙනවාද?

පොත් නම් ලියලා නැහැ. ඒත් තිර රචනයක් කර තිබෙනවා. මගේම සුදු නත්තල කෙටි කතාවෙන් Paris sous la Naige නමින් කළ චිත්‍රපටයකට. ඒ 2005දී. මේ මොහොතේත් තිර රචනයක් ලියමින් ඉන්නේ. ඒකත් කොටස් 9ක රහස් පරීක්ෂක කතාවක්. ශ්‍රී ලංකාවට තිර රචනා කරන එක හරි අමාරුයි. ඒකට හේතුව, ඒ ආරාධනා කරන අය නිකම් කියනවාට කියනවා වගේ දෙයක් කරන්නේ. විශ්වාසය තියන්න අමාරුයි. අනෙක අපි අද කාලේ යමක් නිර්මාණය කරනවා නම් කරන්න ඕනේ, හුදෙක් රටට විතරක් නෙවෙයි. ලෝකයට. අන්තර්ජාතික වෙළෙඳ පොළට යා යුතුයි. අප්‍රිකාවේ පොඩි රටවල පවා චිත්‍රපට, පොත් ආදිය ලෝකේ පුරා යනවා. අපේ නැතුවට. අපට කිසි ම දෙයක් ගැන කිසි ම උනන්දුවක් නැහැනේ. මේ ශ්‍රී ලංකාව, ලෝකෙ කොහෙවත් නැති අසමසම රටක්. ඒකට හේතුව, මෙහේ වෙන දේවල් වගේ ඒවා කිසි ම රටක වෙන්නේ නැතුව ඇති.

ඔබේ පොත ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරනවාද?

මම තවම ඒ ගැන හිතලා නැහැ. මේ මොහොතේ මට ප්‍රකාශ කළ නොහැකි සැලැසුම් කීපයක්ම මේ පොත වෙනුවෙන් තියෙනවා. මෙයට දැනටමත් ලොකු කතාබහක් ඇති වී තිබෙනවා. මේ ශානරයේ පොත් ශ්‍රී ලංකාවේ බිහි වෙනවා අඩුයි. මිනිසුන් අතරට යන්න නම්, මට වෙන භාෂාවකින් ලියන්නත් පුළුවන්.

ලෝක සාහිත්‍ය ප්‍රවණතා සහ අපේ සාහිත්‍ය පිළිබඳ ඔබේ අදහස?

අපි ප්‍රංශයම උදාහරණයකට ගමු. අපේ රට වගේ නෙවෙයි ප්‍රංශය කියන්නේ. ලෝකේ හයවැනි බලවතා. ප්‍රංශ සාහිත්‍යයේ වුණත් මම දකින්නේ නීතිය කියන එක. නීතිය නැති තැනක සාහිත්‍යයක්වත්, කලාවක්වත් හරියට බිහි වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ප්‍රංශයේ , ලේඛකයාට හොරෙන් ප්‍රකාශකයා පොත් ගහන්නෙ නැහැ. හැම තැනකදීම හැම දෙයක්ම පාලනය ‍ෙවනවා. ප්‍රකාශකයාට කඩදාසි යන තැන සිට පාලනයක් තියෙනවා. කඩදාසි ටොන් එකකින් මුද්‍රණය කළ හැකි පොත් සංඛ්‍යාව පවා හැමෝම දන්නවා. වෙළෙඳ පොළ, බෙදාහැරීම, මිල තීරණය කිරීම ආදිය විධිමත්ව කෙරෙනවා. ප්‍රකාශකයා සහ ලේඛකයා කියන්නෙ මිතුරන් වගේ. ඒත් මෙහෙ අපි ප්‍රකාශකයන් පස්සෙන් යන්න ඕනා. ඒ නිසා අර කියූ දේ අපටත් ආදර්ශයට ගන්න පුළුවන් නම්, එකිනෙකාට ගෞරව කරන පසුබිමක් ඇති වුණොත්, සාහිත්‍ය නිර්මාණ බිහිවෙලා, අලුත් ප්‍රවණතා ඇතිවෙලා, සාහිත්‍යය ගොඩගන්න පුළුවන් වේවි.

මේ රටේ සාහිත්‍ය ගැන ඔබේ ආකල්පය?

ලෝකේ කොහේ වුණත් සම්මානයට ලක්වන පොත්, බුකර් හෝ වේවා පුලිට්සර් හෝ වේවා විවේචනයට ලක් වන එකේ, ස්වර්ණ පුස්තක සම්මාන විවේචනය වීම අමුතු දෙයක් නෙමෙයි. සම්මානවලට ලක්වන පොත් මම කියවලා තිබෙනවා. ඒවා හොඳයි කියලාත් මට හිතෙනවා. සම්මාන කියන්නෙ හරි වැදගත් දෙයක්. මම නම් කියන්නෙ නැහැ මට සම්මාන එපා කියලා. මම දැකලා තියෙනවා සම්මාන එපා කියපු අය සම්මාන ලැබුණාම හැසිරෙන විදිහ. කවදා හෝ සම්මානයක් ලැබෙනවා නම් හොඳයි කියලා මගේ නම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නම් ලේඛකයාට අති සුවිශේෂ උත්තේජනයක්. ඒ වගේම පොතේ අළෙවියටත් එය බලපානවා. හැමදේකම මාෆියාවක් තිබෙන රටක, සාහිත්‍ය සම්මාන විතරක් බේරිලා තියෙන්න බැහැනේ? හැබැයි රටක සාහිත්‍යය ගොඩ නැඟෙන්නේ පරිවර්තන කෘතිවලින් නම් නෙමෙයි. ඒත්, අද අපේ ජනමාධ්‍ය වුණත් වැඩි ඉඩකඩක් දෙන්නේ, පරිවර්තන කෘතිවලට. ඒ නිසා, රටේ ජනමාධ්‍ය සහ ප්‍රකාශකයන් වුණත් ස්වතන්ත්‍ර නිර්මාණවලට වැඩි ඉඩක් දෙනවා නම්, එය මේ රටේ දේශීය සාහිත්‍යය දියුණු වීමට හේතුවක් වේවි කියලා මම හිතනවා.

අරුණි මුතුමලී 
ඡායාරූපය-තිලක් පෙරේරා

අදහස් 1ක් ඇත

france wala ayi metharam , sith gath ekama hethuwa neethiyen thora kisima deyak karanna baha kiyana ,, ema neethya lankawe kawadawat naha, manjula obata suba gaman!

නව අදහස දක්වන්න