මරණ දඬුවම! | දිනමිණ

මරණ දඬුවම!

මරණ දඬුවම ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ එම තත්ත්වය තවදුරටත් තහවුරු කරයි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ හතරදෙනකු පළමුව එල්ලා මැරීමට නියමිත බවද වාර්තා වේ. ඊට අදාළ නෛතික ලියැවිලි අත්සන් කර ඇති බවද, මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු දිනය පවා දන්වා ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි හඬක් ද මේ අතර මතුවෙයි. අන්තර්ජාතික සංවිධානවල බලපෑම් මත ඉහත වි‍රෝධතාව තවදුරටත් ශක්තිමත් වීමට ද ඉඩ තිබේ. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මේ වනවිටත් මරණ දඬුවමට දැඩි විරෝධයක් දක්වයි.

සිංහල රජ සමයේ ඇතුන් ලවා පෑගීම, උල තැබීම හා ප්‍රසිද්ධියේ හිස ගසා දැමීම වැනි සාහසික මරණ දඬුවම් ක්‍රියාත්මක වී ඇත. සෞදි අරාබිය මේ වන විටත් ප්‍රසිද්ධියේ හිස ගසා දැමීම සිදුකරයි. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාලනය තුළ වෙඩි තබා මරා දැමීම හා එල්ලා මරා දැමීම යන දඬුවම් දෙකම ක්‍රියාත්මක වී ඇත. බණ්ඩාරනායක අගමැතිවරයා 1956 දී මරණ දඬුවම අ‍හෝසි කර ඇත. එහෙත් බණ්ඩාරනායක ඝාතනයෙන් පසු යළිත් 1962 දී මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත. 1962 සිට 1976 දක්වා ක්‍රියාත්මක වූ මරණ දඬුවම 1977 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් අත්හිටවනු ලැබ තිබේ. නැවත එය ක්‍රියාත්මක වීමට යන්නේ 2019 දීය. නැතහොත් මේ වසරේදීය.

කුඩු ජාවාරම්කරුවන්, සාහසික මිනීමරුවන් හා ස්ත්‍රී දූෂකයන් සම්බන්ධයෙන් මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන සමාජයේ යම් ප්‍රසාදයක් පවතී. මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම නිසා රටේ අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යන බවට මතවාදයක් ද පවතී. මේ හැරෙන්නට ලෝකයේ රටවල් 54ක මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි. අමෙරිකාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය හා මැලේසියාව යන රටවල් ද ඒ අතර වෙයි. ශ්‍රී ලංකාව ද මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ලෝකයේ රටවල් 55ක් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි. මරණ දඬුවම යුක්තිසහගත කරන කෙනකුට ඉහත සාධක වඩාත් වැදගත් වනු ඇත.

මරණ දඬුවම ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවට ගැනෙන්නේ ද ඒ සම්බන්ධයෙන් සෘජු තීරණ ගැනීමට පෙළඹෙන්නේ ද මත්ද්‍රව්‍ය ජාවාරම උත්සන්න තලයක පවතින කාලයකය. මත්ද්‍රව්‍ය ජාවාරම රටට බරපතළ විපතක් ඇතිකර තිබූ අතර රාජ්‍ය පාලනයට බලපෑම් කරන තැනකට එය පත්වී තිබිණි. දේශපාලකයන්ට බලපෑම් කිරීම පමණක් නොව දේශපාලකයන් ඝාතනය කිරීම ජාවාරම්කරුවන් අතින් සිදුවිණි. මේ ජාවාරම් පාතාල ක්‍රියාකාරකම් සමඟ ද මිනිස් ඝාතන හා වෙනත් අපරාධ සමඟ ද සෘජු සම්බන්ධතාවක් පවත්වයි. ඒ හැරෙන්නට මත්ද්‍රව්‍ය ජාවාරමට ජාත්‍යන්තර සම්බන්ධතා පවතී. එය වඩාත් භයානක ය. කුඩු වෙළෙඳුන් කෙතරම් බලවත් ද යත් ඔවුහු සිරගෙදර සිට ද ජාවාරම මෙහෙයවති.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ සිරගෙදර සිට ද මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ප්‍රධාන කුඩු වෙළෙඳුන්ට ය. එබඳු අය දහඅට දෙනකු සිටිතැයි සඳහන් වෙයි. ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ ගණන විසිහයදහසක් පමණ වන අතර ඔවුන්ගෙන් 60%ක් මත්කුඩු වැරැදි සම්බන්ධයෙන් දඬුවම් නියම වූ අය බවට සඳහන් ය. කුඩු ජාවාරමෙහි ශ්‍රී ලාංකීය ව්‍යාප්තිය එයින් පැහැදිලි වෙයි. මේ වනවිට මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් රටතුළ ක්‍රියාත්මක ය. එම සතියේ ගෙවී ගිය දවස් තුනක කාලය ඇතුළත ද මත්ද්‍රව්‍ය සැලකියයුතු ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක වුවහොත් මේ ජාවාරමට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි බව පැහැදිලිය.

මරණ දඬුවම ක්‍රියාත්මක නොවෙතැයි මතයක් ද සමහරුන් තුළ පවතී. එහෙත් ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදෙන බව කියා සිටින්නේ මේ වසරේ මුල සිට ය. කුමන විවේචන හා බලපෑම් එල්ල වුව ද මත්ද්‍රව්‍ය නිවාරණය සදහා ගනු ලබන තීරණ වෙනස් නොකරන බව ද ජනාධිපතිවරයා සහතිකකොට කියා ඇත. පෝරකය අලුත්වැඩියා කර ඇති අතර අලුගෝසුවන් අලුතෙන් පත්කර ඇත. එම අලුගෝසුවන් සඳහා වැඩමුළු පැවැත්වීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මේ සාධකවලින් පෙනීයන්නේ එල්ලුම්ගහ ක්‍රියාත්මක වීම ගැන සැකයක් නැති බව ය.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කියා සිටින්නේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට යන මරණ දඬුවම කෙසේ හෝ වැළැක්විය යුතු බව ය. ඔවුන් ඉදිරිපත් කරන තවත් තර්කයක් වන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය වෙළෙඳාම හෝ මත්ද්‍රව්‍ය භාවිතය හෝ වැළැක්විය නොහැකි බව ය. එහෙත් පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කර ඇති බවට සාක්ෂි තිබේ. මරණ දඬුවම සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සඳහා තවත් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ය. ශ්‍රී ලංකාව එය ඉටුකරමින් සිටී. මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින වෙනත් ආයතන ද මරණ දඬුවම නිසා ශ්‍රී ලංකාව සමඟ අමනාප වන්නට පුළුවන. එවැන්නක් සිදුවුවහොත් එය රටේ ආර්ථිකයට අවාසිසහගත ලෙස බලපාන්නටත් පුළුවන.

ශ්‍රී ලංකාවේ ආගමික පරිසරය මරණ දඬුවම අනුමත කරන්නේ නැත. ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔස්සේ කිසියම් සමාජ කම්පනයක් ඇතිවන්නට පුළුවන. මරණ දඬුවමට එරෙහි දේශපාලන කණ්ඩායම් ද සිටිති. ඔවුන් එක පෙළකට සිටගත හොත් මරණ දඬුවම වැළැක්වීමේ ප්‍රයත්නය බලවත් විය හැකි ය. දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඒ ගැනත් සලකා බලන්නට සිදුවනු ඇත. මත්උවදුර රටට කර ඇති විනාශය ගැන බලන විට මරණ දඬුවම ගැන සතුටුවිය හැකිය. එහෙත් මරණ දඬුවමට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන ගෙනයන ප්‍රයත්න දෙස බලන විට මරණ දඬුවම ක්‍රියාත්මක වීම ගැන සතුටුවිය නොහැකි ය.

 

අදහස් 1ක් ඇත

Thanks

නව අදහස දක්වන්න