මුල්පොතෙන් “ටැබ්” එකට | දිනමිණ

මුල්පොතෙන් “ටැබ්” එකට

අපේ අධ්‍යාපනය නවීකරණයට පත්කරන බවත්, උසස් පෙළ සිසුන්ට නොමිලේ ටැබ් යන්ත්‍ර ලබාදීම එහි එක් පියවරක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. අගමැතිවරයා මේ පණිවිඩය ජනගත කළේ නැගෙනහිර පළාතේ එක්දහස් ගණනකට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සව සභාවකදීය. වික්‍රමසිංහ මහතා තවත් වැදගත් කරුණු දෙකක් ද මෙහිදී සඳහන් කළේ ය. පළමු කාරණය වන්නේ තවත් විසිදහසකට ළඟදීම ගුරු පත්වීම් ලබා‍දෙන බව ය. දෙවන කාරණය වන්නේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු අසූදහසක් පෞද්ගලික අංශය තුළ ඇති බව ය.

අපේ ජාතික අධ්‍යාපනයේ ඇති ප්‍රධාන අඩුපාඩු දෙකක් පෙන්වාදීම මෙහිලා වැදගත් ය. පළමු අඩුපාඩුව වන්නේ අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළ අතර කිසිදු සම්බන්ධයක් නොතිබීම ය. රැකියා ඉලක්කකොට සම්පාදනය වූ පාඨමාලා අපට නැත. දෙවන අඩුපාඩුව වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල පවතින උග්‍ර ගුරු හිඟයයි.

ප්‍රධාන විෂයයන් ලෙස සලකනු ලබන විද්‍යාව, ගණිතය , ඉංග්‍රීසි වැනි විෂයයන් සඳහා ද සැලකිය යුතු ගුරු හිඟයක් පවතී. දුෂ්කරම පාසල්වලට මේ තත්ත්වය වඩාත් තීව්‍ර ලෙස බලපායි. ගුරු හිඟය වළක්වා ගැනීම සඳහා එක අතකින් අලුත් පත්වීම් ලබාදිය යුතුය. තව අතකින් ගුරු පුහුණුව ලබාදිය යුතුය. මේ සාධක දෙක කෙරෙහිම රජයේ අවධානය යොමු වී ඇත.

උසස් පෙළ සිසුන්ට නොමිලේ ටැබ් ලබාදීම හැම අතින්ම ඉදිරිගාමී පියවරකි. එක පැත්තකින් නූතන තාක්ෂණික පහසුකම්වලින් තොරව වර්තමාන අධ්‍යාපන කටයුතු සිදු කිරීම අපහසුය. තව පැත්තකින් බලන විට පරිගණකයක්, ලැප්ටොප් එකක් ලබාදීමට තරම් හැකියාවක් නැති මාපියවරු විශාල පිරිසක් රටේ සිටිති. මේ අනුව පොහොසත් පවුල්වල අය පරිගණකය ඔස්සේ අන්තර්ජාලය පරිහරණය කරමින් නව දැනුම ලබා ගනිති. එහෙත් දුප්පත් දරුවාට එය අහිමි ය. මේ තත්ත්වයට අනුව අධ්‍යාපනයේ විසමතාවක් ගොඩනැ‍ඟේ. නොමිලේ ටැබ් යන්ත්‍ර ලබාදීමෙන් එම විසමතාව ඉවත් කළ හැකිය. නිදහස් අධ්‍යාපනයේ සැබෑ අර්ථය වන්නේ ද අධ්‍යාපනයේ විසමතාව හා පරතරය ඉවත් කිරීම ය.

ඉන්දියාව අපට වඩා දියුණු අධ්‍යාපන ක්‍රම‍වේද භාවිත කරන විශාල රාජ්‍යයකි. ඉන්දියාවෙන් අපට ලබාගත හැකි අධ්‍යාපන ආදර්ශ ඕනෑතරම් තිබේ. එහෙත් ඉන්දියාව පවා පාසල් දරුවන්ට නොමිලේ පරිගණක ලබාදෙන්නේ නැත. දකුණු ආසියාවේ රටවල් දෙස බලන විට පාසල් දරුවන්ට නොමිලේ ටැබ් යන්ත්‍ර ලබාදෙන එකම රාජ්‍යය ශ්‍රී ලංකාව වෙයි. එය ඉදිරිගාමී පියවරක් වන්නා සේම රටේ අධ්‍යාපනය තුළ යහපත් පෙරළියක් ඇති කිරීමට ද හේතු සාධකයක් වනු ඇත. ටැබ් යන්ත්‍ර උසස්පෙළ දරුවන් අතට පත්වන්නේ පුහුණුවක් ද සමඟය. ඒ අනුව දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය මේ ටැබ් යන්ත්‍ර තුළ ලියැවී ඇතැයි සිතන්නට පුළුවන.

ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකිය යුතු උනන්දුවක් වර්තමාන රජයට තිබේ. එය ප්‍රදර්ශනාත්මක එකක් නොව අර්ථදායක එකක් බව රජය ඉටු කරන සේවාවෙන් පෙනී යයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් දරන සමස්ත ප්‍රතිපාදන ඉහළ දැමූ රජය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කළේ ය. පාඨමාලා යාවත්කාලීන කළ අතර පාසල් හැර යන සිසුන්ගේ ප්‍රමාණය අවම කළේ ය. දහතුන වසර දක්වා අනිවාර්ය පාසල් අධ්‍යාපනය ද නීතිගත කර තිබේ. ඒ හැරෙන්නට නොමිලේ ටැබ් යන්ත්‍ර ලබාදීම ඇතුළු තවත් වැඩසටහන් ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කරයි. ඉන් එක් වැඩසටහනක් වන්නේ, ළඟම පාසල හොඳම පාසල බවට පත්කිරීමේ ව්‍යාපෘතියයි.

අධ්‍යාපනය හා රටක සංවර්ධනය අතර ඍජු සම්බන්ධතාවක් ඇති බව නායකයන් වටහාගෙන තිබීම වැදගත් ප්‍රවණතාවකි. ලෝකයේ සෑම දියුණු රාජ්‍යයකම ජාතික අධ්‍යාපනය උසස් මට්ටමක පවතී. ඇමරිකාව, චීනය, ජපානය, මහා බ්‍රිතාන්‍ය වැනි රටවල් ඊට නිදසුන් ලෙස ගත හැකිය. මෑතකදී සංවර්ධිත රටවල් බවට පත් වූ මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් දෙස බලනවිට ද ඉහත සත්‍යය තවදුරටත් වටහාගත හැකිය. නොබෙල් ත්‍යාගලාභී, ආර්ථික විද්‍යාඥ ආචාර්ය ඊ.එච්.ශූමාකර් පෙන්වා දෙන ආකාරයට රටක සංවර්ධනය තීන්දු කරන ප්‍රධාන සාධකය අධ්‍යාපනයයි.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සලකන සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මහතා 1945 දී නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් කියා සිටියේ ගමේ දරුවන්ට ද හොඳ අවස්ථාවක් ලබාදීම සඳහා ඉහත පනත උපයෝගී කරගන්නා බව ය. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති නොවන්නට ග්‍රාමීය හා වතු අංශවල දුප්පත් දරුවන්ට උසස් අධ්‍යාපන වරම හිමිවන්නේ නැත. 1956 ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා, තවත් පැත්තකින් දුගී දුප්පත් දරුවන්ට සහන රැසක් උදාවිය. එහෙත් අධ්‍යාපනයේ පරතරය මුළුමනින්ම වැළකී ගියේ නැත. 1990 ගණන්වලදී කොළඹට කිරි - අපට කැකිරි සටන් පාඨය එළිදකින්නේ ද අධ්‍යාපනයේ විසමතාව පදනම් කරගෙන ය. අසමතුලිත අධ්‍යාපන පහසුකම්, තරුණ කැරැල්ලකට පවා හේතු සාධක වූ බව පසුව හෙළිදරව් විය.

රජය ලබාදෙන අධ්‍යාපන පහසුකම්වලින් උපරිම පල නෙළාගන්නා තැනක් වෙත ශිෂ්‍ය ප්‍රජාවද යොමුවිය යුතුය. මෙහිදී පාර්ශ්ව දෙකක් වෙත ඊට අදාළ වගකීම පැවරෙයි. පළමු පාර්ශ්වය වන්නේ පාසල්වල ගුරු මණ්ඩලයයි. දෙවන පාර්ශ්වය වන්නේ දරුවන්ගේ මාපියන් ය. තමන් වෙත ලබාදුන් ටැබ් යන්ත්‍රය අවභාවිතයේ නොයෙදවීමට දරුවන් මෙහෙයවිය යුත්තේ ඉහත පාර්ශ්ව දෙකය.

මේ ටැබ් යන්ත්‍ර සමඟ අපේ උසස් පෙළ සිසුන් අලුත් ජවයකින් පන්ති කාමරයට ප්‍රවේශ වනු ඇත. ඔවුන් නව මානයකින් යුතුව ලෝකය දෙස බලනු ඇත.

අදහස් 1ක් ඇත

Thanks , please permit us to take important ideas.

නව අදහස දක්වන්න