මිහින්තලා පුදබිම සංවර්ධනයට පියවර ගත්තාට අගමැතිට තුති | දිනමිණ

මිහින්තලා පුදබිම සංවර්ධනයට පියවර ගත්තාට අගමැතිට තුති

මෙරට සම්බුදු සසුනේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකෙන මිහින්තලා පූජා භූමිය සංවර්ධනය කර සුරක්ෂිත කිරීම සඳහා රජය මඟින් පියවර ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතා ඉටු කරන සේවයට රටේ ජනාතව වෙනුවෙන් තම කෘතඥතාව පළ කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් ලෙස නම් කිරීම, මිහින්තලා පොසොන් උළෙල ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, ලංකාවේ මුල්ම පෙරහර මිහිඳු මහ පෙරහර පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම, මිහිඳු මහ රහතන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ වප් මස පුර අටවක පොහෝ දිනය නිවාඩු දිනයක් බවට පත්කිරීම ආදී කරුණු රැසක් ගැන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගිය දා (2) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ධම්මරතන හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මෙම තොරතුරු පැවසුවේ මිහින්තලා රජමහා විහාරයේ දී පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ධම්මරතන හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ.

මිහිඳු මහ රහතන්වහන්සේ වැඩම කර වසර 2327ක් සපිරෙනවා. ඒ පින්කම් අප පසුගිය පොසොන් සමයේ සැමරුවා. ඒ වගේම මිහිඳු මාහිමි පරිනාර්වාණය වී ඔක්තෝබර් මාසයේ වප්පුර අටවක පෝයදාට අවුරුදු 2279 ක් පිරෙනවා. මෙම කරුණු ගැන අප පසුගිය දිනවල රජයට, විශේෂයෙන් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ඉල්ලීම් කළා.

මේ මිහින්තලා පූජා භූමිය අනාගතයට උරුම කරදීමට කටයුතු කරන ලෙස දැන්වුවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 29වැනි දා මේ පූජා භූමියට ආවා. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර සංවර්ධන කටයුතුවලට මුල පිරුවා.

ඒ වගේම මිහින්තලය පූජාභූමිය ජාතික උරුමයක් බවට පත් කිරීමට අග්‍රමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අප අරලියගහ මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැතුවූවා. මිහින්තලා පූජා භුමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, මිහිඳු මහ පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නෛතික බලයක් ලබාදීම සඳහා පවතින රජය මඟින් කටයුතු කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කර මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමටත් සාකච්ඡා කළා.

ඒ වගේම මිහින්තලය පොසොන් උළෙල ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් සාකච්ඡා කළා.

පූජා භූමියට විදුලි ආලෝකය ලබාදීම, ශබ්දවාහිනී පද්ධතියක් සවි කිරීම හා කැමරා පද්ධතියක් සවි කිරීමටත් යෝජනා කළා.

මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්ණායක අනුවයි සකස් කරන්න එකඟ වුණේ. ඒ වගේම අභාවයට යමින් පවතින සංස්කෘතිකාංග හා කලා කටයුතු නංවාලීම සඳහා පියවර ගැනීමටත් සාකච්ඡා කළා. කලායතන ඇති කිරීමට විශේෂයෙන්ම සංචාරකයන් වෙනුවෙන් ඒවා ඉදිරිපත් කර ඔවුන්ගේ ආකර්ෂණය සඳහා යොමුවන ලෙස හා ආදායම් උපයාගැනීමට හැකි වැඩපිළිවෙළකුත් ආරම්භ කරන්න සාකච්ඡා කළා.

ඒ වගේම මෙම කලාපයට ආවේණික ආහාර පාන, කුරහන්, තල, මෙනේරි, කොල්ලු ආදී ධාන්‍ය වර්ග අලෙවියට ඉඩ සලසන්නත් ඒ සඳහා වෙළෙඳකුටි ඉදිකරන්නත් අදහස් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම නුවර කලාවියේ පාරම්පරික ආහාර වර්ගවල රස විඳීමට සංචාරක පිරිසට අවස්ථාව සැලසීම එයින් අරමුණු කරනවා. ඒ වගේම ප්‍රදේශයේ රැකියා විරහිත පිරිස් මෙම ආහාර නිෂ්පාදනයට යොමු කරන වැඩපිළිවෙළක් ඇති කරන්නටත් සාකච්ඡා කළා.

මීට අමතරව පූජා භූමියට පිවිසෙන පියගැටපෙළ අනුරාධපුර - ත්‍රීකුණාමල ප්‍රධාන පාරට සෘජුවම දිස්වන අයුරින් සකස් කිරීමට අග්‍රාමාත්‍යතුමා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නත් එකඟ වුණා.

ඉසුරු උයන මාර්ගය මහනුවර - යාපනය (A-9) හා අනුරාධපුර - ත්‍රීකුණාමලය (A-12) මාර්ගයට සම්බන්ධ කෙරෙන තවත් මාර්ගයක් ඉදිකිරීමටත් ප්‍රතිපාදන ලබාදීමට තීරණය කළා.

මෙම සියලුම දේවල් කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙස ක්‍රියාවට නැංවීම සඳහා සකස් කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමටත් සාකච්ඡා කළා.

සිඟාල රජ දවසින් පසුව පළමු වරටයි මෙතරම් විශාල මුදලක් මිහින්තලේ පූජා භූමියේ දියුණුවට රජයක් ලෙස වැය කිරිමට තීරණ්‍ය කළේ. මේ ප්‍රතිපාදන කිසිවක් මගේ අතට ලැබෙන්නේ නැහැ. ඒ සියල්ලම ඒ ඒ අමාත්‍යාංශ හරහා වෙන් කරන්නටත්, ඒ අදාළ අංශ මඟින් යටිතල පහසුකම් සැලසීමටත් කටයුතු යොදනවා. විශේෂයෙන්ම සංස්කෘතික අමාත්‍යාංශය මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ රුපියල් ලක්ෂ 2380ක් පූජා භූමියේ සංවර්ධනයට වෙන් කර තිබෙනවා.

සී. මලවරආරච්චි - මිහින්තලේ විශේෂ

අදහස් 1ක් ඇත

Iraaj koluwo dan mokada kiyanne?

නව අදහස දක්වන්න