ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයෝ තුන්කොන් එක්දින ශූරතාව දිනති | දිනමිණ

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයෝ තුන්කොන් එක්දින ශූරතාව දිනති

දකුණු අප්‍රිකාවේ පැවැති නැඟී එන කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ප්‍රිටෝරියා හිදී පැවැති තරගාවලියේ අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාල ක්‍රීඩා කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් විශ්වවිද්‍යාල ක්‍රීඩා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 180කට සීමා කළ ශ්‍රී ලංකා නැඟී එන ක්‍රීඩකයෝ ඕවර 37.4කදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරාගෙන ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 84ක් රැස් කළේ පන්දු 108කට මුහුණ දෙමිනි. හතරේ පහර 7කින් සහ හයේ පහර 2කින් ඉනිම සවිමත් කරගත් ඔහු, පළමු කඩුල්ලට සඳුන් වීරක්කොඩි (26) සමගින් ලකුණු 56ක් එක්කළ අතර කමිඳු මෙන්ඩිස් සමගින් දෙවැනි කඩුල්ල ගොඩනැගූ සබඳතාව ලකුණු 85කි. මෙන්ඩිස් හතරේ පහර 4ක් සමගින් පන්දු 63කින් ලකුණු 40ක් රැස් කළේය. නායක චරිත් අසලංක හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 29ක් රැස්කළේ පන්දු 21ක් පමණක් වැය කරමිනි.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාල ක්‍රීඩා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 49ක් තුළ බිඳ වැටී තිබියදී පිටියේ එක්වූ ඩෙලානෝ පොගිටර් සහ රුබින් හර්මන් පස්වැනි කඩුල්ලට ලකුණු 75ක් එක් කළහ. පොගිටර් හතරේ පහර 3ක් සමගින් පන්දු 88කින් ලකුණු 52ක් රැස්කළ අතර රුබින් නොදැවී ලකුණු 63ක් රැස්කළේ හතරේ පහර 2ක් සමගින් පන්දු 93කිනි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ළහිරු මධුසංක ලකුණු 35කට කඩුලු 4ක් දවාගත් අතර ඔහු තරගයේ වීරයා ලෙසින්ද නම් කෙරිණි.

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ 18 දා සෙන්වෙස් පාර්ක් හිදී ආරම්භ වන අතර දෙවැනි තරගය 25 වැනිදා සිට 28 වැනිදා දක්වා ටුක්ස් ඕවල් හිදී පැවැත්වේ.

එක්දින තරගාවලියට එක් වූ සඳුන් වීරක්කොඩි, සම්මු අශාන්, ඩිල්ෂාන් මධුසංක, ළහිරු මධුසංක, අමිල අපෝන්සු, රමේෂ් මෙන්ඩිස් සහ සංගීත් කුරේ සිවුදින තරගාවලියට එක් නොවන අතර ඒ වෙනුවට ළහිරු උදාර, හසිත බෝයගොඩ, මොහොමඩ් ශිරාස්, ලසිත් ඇඹුල්දෙණිය, නිෂාන් පීරිස් සහ ප්‍රමෝද් මධුවන්ත සිවුදින තරගාවලියට එක්වෙති.

නව අදහස දක්වන්න