ත්‍රස්ත මර්දනයට යුරෝපා සහාය! | දිනමිණ

ත්‍රස්ත මර්දනයට යුරෝපා සහාය!

ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට යයි. මේ සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡාවක් පවත්වා තිබේ. යුරෝපා සංගමයේ නියෝජිතයෝ පිරිසක් හා යුරෝපීය සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ද මීට එක්වූහ. යුරෝපා සංගමය මේ වන විටත් ප්‍රති-ත්‍රස්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. නූතන ත්‍රස්තවාදය ගෝලීය සබඳතා මත ශක්තිමත් වී ඇති බව රහසක් නොවේ. එය පිටුදැකීමට ගනු ලබන ක්‍රියාමාර්ග ද ගෝලීය සබඳතා මත මෙහෙයැවීම ඉතා වැදගත් ය. මේ තත්ත්වය හොඳින් ම වටහාගත් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යැයි කිව හැකි ය.

යුරෝපා සංගමය යනු යුරෝපා මහාද්වීප‍යට අයත් දියුණුම රටවල් විසිහතේ එකමුතුව බව කවුරුත් දනිති. ලෝක ආර්ථිකය, ලෝක දේශපාලනය හා සංවර්ධනය මෙහෙයැවීම සඳහා අන්තර්ජාතික වශයෙන් විශාල වැඩ කොටසක් යුරෝපා සංගමය ඉටුකරයි. යුරෝපා සංගමය, යුරෝපා පාර්ලිමේන්තුව, යුරෝපා ආර්ථික හවුල යනා දී ලෙසින් ලෝක ආයතන කිහිපයක් යුරෝපා සංගමය පවත්වාගෙන යයි. මේ හැරෙන්නට යුරෝපා සංගමය නියෝජනය කරන නියෝජිතයෙක් බොහෝ රටවල සිටී. එක්සත් ජාතීන්ගේ සම්බන්ධතා ජාලය මෙන් ම යුරෝපා සංගමයේ සම්බන්ධතා ජාලය ද ඉතා ශක්තිමත් ය. බලවත් වූ තාක්ෂණික පහසුකම් ද මේ සංගමයේ ආයතනවලට තිබේ.

ඉහත ක්‍රියාවලියේ දී සැබෑ ලෙස ම සිදුවන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම යැයි කිව හැකි ය. එම සහයෝගය අංශ කිහිපයකින් ලැබීමට නියමිත ය. තාක්ෂණය, තොරතුරු හුවමාරුව, උපදේශනය, අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම ඒ අතර ප්‍රධාන වෙයි. නූතන ත්‍රස්තවාදය හා දියුණු තාක්ෂණය අතර නොබිඳිය හැකි සම්බන්ධයක් පවතී. ඊට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව වැනි රටවල් ද දියුණු තාක්ෂණය භාවිත කළ යුතු ය. තොරතුරු සන්නිවේදනයේ දී දියුණු රටවල බුද්ධි අංශ අපට වඩා ඉදිරියෙන් සිටී. ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම ඉතා වැදගත් ය. උපදේශනය මෙන් ම මූල්‍ය පහසුකම් ද කොයි අතින් බැලුවත් වැදගත් ය.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් මුළු ගෞරවය ශ්‍රී ලංකාවේ රජයට හිමිවන’මුත් එහි සැලැකිය යුතු කාර්යභාරයක් ඉන්දියාව හා අමෙරිකාව විසින් ඉටුකරනු ලැබ ඇති බව අපි බොහෝ විට අමතක කරමු. අමෙරිකාව එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අන්තර්ජාතික ශක්තිය බිඳ දමන්නට විශාල වැඩ කොටසක් ඉටුකර තිබේ. අමෙරිකාවේ බලපෑම මත දියුණු රටවල් ගණනාවක් එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කළහ. එයින් ඔවුන්ගේ මූල්‍ය ශක්තිය බිඳ වැටිණි. කොටි සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ වැදගත් තොරතුරු හෙළිදරව් කර ඇත්තේ ද අමෙරිකාව ය. අදටත් අමෙරිකාව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙයි. මේ සබඳතා වඩාත් පුළුල් කරගැනීමෙන් ප්‍රයෝජන ගණනාවක් ලබාගත හැකි ය.

තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ දේශපාලකයන් දෙමළ ජාතිවාදය හා දෙමළ ත්‍රස්තවාදය නඟාසිටුවීම සඳහා සහයෝගය ලබා දී ඇතත්; ඉන්දීය මහ ආණ්ඩුව කිසි දිනෙක ත්‍රස්තවාදයට උඩගෙඩි ලබා දී නැත. ඉන්දීය මහ ආණ්ඩුව හැමවිට ම ක්‍රියාකර ඇත්තේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මර්දනය කොට එහි ස්වාධීනතාව ආරක්ෂා කරන පිළිවෙතකට අනුව ය. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ඉන්දීය බුද්ධි අංශවල සහයෝගය පවා ශ්‍රී ලංකා රජයට ලැබී ඇත. ඒ හැරත් ඉන්දීය භූමිය තුළ දෙමළ ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකම්වලට වැට බැඳීම ඉතා වැදගත් ය. එසේ නොවන්නට කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නො හැකි වනු ඇත. කොටි නායක ප්‍රභාකරන් ඉන්දීය මහ ආණ්ඩුවේ හොඳ හිත දිනා ගැනීමට වෑයම් කළ ද එය සාර්ථක වූයේ නැත.

කොටි ත්‍රස්තවාදයට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු සහයෝගයක් තිබුණ ද ශ්‍රී ලංකාව කෙළින් ම ගෝලීය ත්‍රස්තවාදය ගැන සාකච්ඡා කරන්නට පටන් ගත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බව කිව හැකි ය. එම ප්‍රහාරය පසුපස ඇති සංවිධානය අයි. එස්. ත්‍රස්තයන්ගේ ම කොටසක් බව විමර්ශනවලින් හෙළි වී ඇත. ඉන්දියාවෙන් මීට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. ප්‍රහාරය සඳහා මූල්‍ය පහසුකම් සපයන්නට ඇතැ’යි සැක කරන තවත් පුද්ගලයකු ගැන බංග්ලාදේශ රජය විමර්ශන ආරම්භ කර ඇත. ලැබී ඇති තවත් තොරතුරුවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රහාරකයන් විදේශගතව අවි - පුහුණුව ලබා ඇති බව ය. මේ සියල්ලෙන් ම ඉස්මතු වන්නේ අප මුහුණ දෙන ත්‍රස්තවාදය අන්තර්ජාතික වශයෙන් විකාශනය වන ආකාරය යැයි කියන්නට පුළුවන. ඊට මුහුණදීම සඳහා නිත්‍ය ලෙස ම ජාත්‍යන්තර සහයෝගය ලබාගත යුතු ය.

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සාමූහිකව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පිළිගත යුතු කාරණයකි. ගෝලීය වශයෙන් දියුණු රටවල් අතර එබඳු එකඟතාවක් පවතින්නේ වුව දේශීය වශයෙන් දේශපාලකයන් අතර එබඳු එකඟතාවක් දකින්නට නැත. එය අවාසනාවන්ත තත්ත්වයකි. සමහරු ත්‍රස්තවාදය තම දේශපාලන වාසියට හරවා ගැනීමට මාන බලති. තව සමහරු ත්‍රස්තවාදය වැළැක්විය හැක්කේ තම පක්ෂයට පමණක් යැයි ඒත්තු ගැන්වෙන ලෙස ක්‍රියා කරති. තවත් සමහරු ත්‍රස්තවාදය වර්ධනය වන සේ ක්‍රියා කරති. දේශීය වශයෙන් එකඟතාවක් නැතිකම ත්‍රස්තවාදයේ නැඟීමට හොඳ පසුබිමක් නිර්මාණය කර තිබේ. ඇතැම් දේශපාලකයන් තව ම එය වටහාගෙන නැත. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට පවා කෙනකු විරුද්ධ විය හැකි ය.

ඉතාලි අධිරාජයන්ට දේශපාලන උපදේශන සැපයූ මැකියාවෙලී කීවාක් මෙන් පාලකයා තීන්දු - තීරණ ගැනීමේ දී සිංහයකු සේ එඩිතර විය යුතුය. සියලු දෙනාට ම කන් දෙන්නට ගියහොත්; කිසිදු තීරණයක් ගත නො හැකි වෙයි. මහා පෙඩ්රික් රජු වරක් කියා සිටියේ සියල්ල ආරක්ෂා කිරීමට යන තැනැත්තා කිසිවක් ම ආරක්ෂා කර ගන්නේ නැති බව ය. ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන් ම අගමැතිවරයා ද නිවැරැදි ආස්ථානයක රැඳී සිටින බව පෙනෙයි. යුරෝපා සංගමය සමඟ ඇතිකර ගැනීමට යන එකඟතාවෙන් ද එය පැහැදිලි වෙයි.

නව අදහස දක්වන්න