දැනුමෙන් පිරි උගත් ජනතාව අතර ජාතිවාදී ගැටලු ඇති වන්නේ නැහැ | දිනමිණ

දැනුමෙන් පිරි උගත් ජනතාව අතර ජාතිවාදී ගැටලු ඇති වන්නේ නැහැ

දැනුමෙන් පිරි උගත් ජනතාව අතර ජාතිවාදී ගැටලු ඇති වන්නේ නැති බව සභානායක, ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ 'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ මහනුවර ගුරුදෙනිය මහා විද්‍යාල පරිශ්‍රයේ ඉදි කළ දෙමහල් ගොඩනැඟිල්ලේ ප්‍රධාන ශිෂ්‍ය ශාලාව සිසු අයිතියට පැවරීමේ උත්සවයට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ වත්මන් රජය පාසල් ගොඩනැඟිලි දෙසීයකට අධික සංඛ්‍යාවක් අලු‍තෙන්ම ඉදි කර සිසු අයිතියට ලබාදීමට කටයුතු කර තිබෙනවා. මහනුවර නගරයට ඇතුළු වන මේ ස්ථානයේ දියුණු පහසුකම් සපිරි පාසලක් පැවතීම ඉතාමත් වැදගත්.

අපි නිදහසින් පසු අත්පත් කර ගත් දේ සලකා බැලීමේ දී එක සිතින් සතුටු විය හැකි දෙයක් මේ රටේ අධ්‍යාපන ක්‍රමය. දියුණු රටවල් ලෙස සැලකෙන අමෙරිකාව, බ්‍රිතාන්‍ය, යුරෝපය වගේ රටවලවත් නෑ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මෙන් පළමු වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා නොමිලේ ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක්. එදා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මන්ත්‍රණ සභාවට සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව තමයි අද මේ රටේ පවතින නිදහස් අධ්‍යාපනය ස්ථාපිත වුණේ.

ඒ අනුව යමින් අපේ රටේ දරුවන් නැණ ගුණ බලයෙන් වර්ධනය විය යුතු වුණත් සමහර විශ්වවිද්‍යාලවල නිදහස් අධ්‍යාපනයෙන් නිර්මාණය වු සිසුන් දෙස බැලුවාම ඒක ඒ විදියටම වුණා දැයි අපිට සැකයක් මතු වෙනවා. ගුණවත්කම නැත්නම් ලබන කිසිම අධ්‍යාපනයක හරයක් නෑ. තමාට කියලා මේ ලෝකයේ උපයා ගත හැකි එකම දේ තමා නිසි අධ්‍යාපනය. තමා සතු සියලු‍ම දේවල් නැති වුණත් තමා ළඟ තිබෙන එකම ධනය අධ්‍යාපනයයි.

නිසි අධ්‍යාපනයක් තිබෙන ජනතාවට රටේ ප්‍රශ්න හරියාකාරයෙන් හඳුනාගන්න පුළුවන්. ඒ අයටම තමයි ඒ ප්‍රශ්නවලට හරි යන විසඳුම හොයා ගන්නත් පුළුවන්. ජාතික ප්‍රශ්නය වේවා, රටේ ආර්ථික වේවා මෙකී සියලු‍ම ගැටලුවලට විසඳූම් හොයන්න පුළුවන් වන්නේ ගුණ නැණ බලෙන් සවිමත් ජනතාවට විතරමයි. එවන් ජාතියක, ජාතිවාදී ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. ත්‍රස්තවාදය ඇති වෙන්නෙත් නෑ. අපි අනිත් ජාතීන් සමඟ සහජීවනයෙන් ජීවත් වෙන්න ඉතිහාසයෙන් ලබා ගත් පාඩම් ද ඉගෙන ගෙන අනාගතයේ යහපත් රටක් ගොඩනැඟීමට කටයුතු කරමු.

නව අදහස දක්වන්න