උදය ගම්මන්පිලට එරෙහි නඩුව ඔක්තෝබර් 08ට කල් යයි | දිනමිණ

උදය ගම්මන්පිලට එරෙහි නඩුව ඔක්තෝබර් 08ට කල් යයි

කුමුදු හෙට්ටිආරච්චි

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයාට අයත් ව්‍යාපාර කොටස් තමන් විකුණූ බවටත් එම මුදල්වලට කළ දේ තමන්ට අමතක බවටත් උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව ගොනුකළ දිවුරුම් ප්‍රකාශයක් මගින් සඳහන් කර ඇති බව සමාගමක සාමාන්‍යාධිකාරිවරයකු වූ ඉන්දීවර පෙරේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (24) පැවසීය.

එසේ විකුණා ලබාගත් මුදල් උදය ගම්මන්පිල මහතා තමන්ටත් ලබාදුන්නද වයස අවුරුදු 70ට වැඩි තමාට එම මුදල්වලට කළ දේ අමතක බව ව්‍යාපාරිකයකු වූ සිඩ්නි ජයසිංහ නමැත්තා ද එම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව ගොනුකළ දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර ඇතැයි සාක්කිකරු පැවසීය.

එම දිවුරුම් ප්‍රකාශවල පිටපත් ලැබුණු බව සාක්කිකරු වැඩිදුරටත් පවසා සිටියේය.

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් ව්‍යාපාරික කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මගින් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කළ බවට පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් ඉන්දීවර පෙරේරා මහතා එසේ පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අසන ලද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්කිකරු එසේ පැවසීය.

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වූ බ්‍රයන් ෂැඩික් මහතා සිය ව්‍යාපාරික කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මගින් විකුණා ඇති බවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කිරීමට බලය පවරා ඇත්තේ ඉන්දීවර පෙරේරා නමැති මෙම සාක්කිකරු හටයි.

තමා ඇන්ස්ට්‍රෝ ලංකා පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළ වකවානුවේ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන්ෂෙඩික් මහතා හඳුනාගත් බව පවසා සිටි සාක්කිකරු එම සමාගම සිඩ්නි ජයසිංහ නමැත්තාට අයිති සමාගමක් බවටත් පවසා සිටියේය.

තවද සිඩ්නි ජයසිංහ මහතාගේ වැඩිමහල් පුතා බ්‍රයන් ෂෙඩික් මහතා සමඟ යන ගමන්බිමන්වලදී තමන්වද සම්බන්ධ කරගත් බවත් එහිදී ෂෙඩික් මහතා සමඟ කථාබස් කිරීමේ අවස්ථාව තමාට ලැබුණු බවත් විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ සාක්කි දෙමින් ඉන්දීවර පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

2020 වසරේ ජූලි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පෑන්ඒෂියා බැංකුව විසින් නිකුත්කොට ඩිජිටල් නොමිනිස් පෞද්ගලික සමාගම නමින් මිලට ගෙන තිබූ ව්‍යාපාරික කොටස් ව්‍යාජ ඇ‍ටෝනි බලපත්‍රයක් මගින් විකිණිමෙන් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කළ බවට නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති මෙම නඩුවෙන් චෝදනා නගා ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා මෙම නඩුවට පෙනී සිටියි. වැඩිදුරටත් හරස් ප්‍රශ්න ඇසීම සඳහා නඩුව ලබන ඔක්තෝබර් මස 08 වැනිදාට කල් තැබුණි.


නව අදහස දක්වන්න