අයහපත් කාලගුණය! | දිනමිණ


 

අයහපත් කාලගුණය!

අයහපත් කාලගුණික තත්ත්වයක් දිවයිනට කඩාවැදී ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට එහි බලපෑම වැඩි බව පෙනී යයි. අරාබි මුහුදේ හා බෙංගාල බොක්කේ වායු කැළඹීම් මත මේ වෙනස්වීම් සිදු වී ඇති බවත්; එය තවත් දින කිහිපයක් යනතුරු බලපැවැත්විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණික වෙනස්වීම් හෝ ස්වාභාවික විපත් හෝ නොවැළැක්විය හැකි දේවල් ලෙස සලකනු ලැබේ. ඒ අනුව සිදුවිය යුත්තේ අනතුරු හා විනාශයන් වළක්වා ගැනීමට පියවර ගැනීම ය. ආණ්ඩුවට බැණ වැදීමෙන් හෝ ආයතන විවේචනයට ලක්කිරී‍ෙමන් හෝ කාලගුණික විපර්යාස නැවැත්විය නොහැකි බව සිහි තබාගැනීම ද වැදගත් ය.

තද සුළං, අඛණ්ඩ වර්ෂාව, ඝන මීදුම, ගස් කඩාවැටීම හා අකුණු මේ තත්ත්වය යටතේ විපත් ඇතිකළ හැකි හේතු-සාධක ලෙස පෙන්වාදිය හැකිය. අත්තනගල්ල හා නිට්ටඹුව යන ප්‍රදේශවල නිවාස තුන්සියයක පමණ වහලවල් ගලවාගෙන ගොස් තිබේ. තවත් ප්‍රදේශ කිහිපයකින් නිවාස හානි ගැන වාර්තා වී ඇත. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව නිසා කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 21 කින් ඉහළ නැඟ ඇත. මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 44 කින් ඉහළ ගොස් ඇත. ජලාශ පිරී යෑම හොඳ දෙයක් වුව මෙබඳු තත්ත්වයකදී පහළ ගංගාධාරවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු ය.

අයහපත් කාලගුණික තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වී ඇති පළාත්වල නාය යෑම් සිදුවිය හැකි බව ද පෙන්වාදිය යුතු ය. මධ්‍යම පළාත, සබරගමුව හා දකුණු පළාත නායයෑම්වලට ගොදුරු විය හැකි ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයෑම් සම්බන්ධයෙන් සොයා බලන අතර ‍එම ආයතන අනතුරු හඟවන ස්ථාන වෙතින් ඉවත් වීම ජනතාවගේ යුතුකම වෙයි. රටේ පවතින ඉදිකිරීම් බොහොමයක් සිදු වී ඇත්තේ අවිධිමත් ලෙස බැවින් අනතුරු හැඟවීමේ උපදේශන අකුරට ම පිළිපැදීම ඉතා වැදගත් ය. දේපොළවලට වඩා මනුෂ්‍ය ජීවිතවල වටිනාකම වැඩි ය. සිදුවිය යුත්තේ ජීවිත ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව ලබාදීම ය. වාසනාවකට මෙන් මේ තත්ත්වය යටතේ මරණ වාර්තා වී නැත.

මධ්‍යම කඳුකරය තුළ අධික මීදුමක් පැතිර යන බව වාර්තාවී ඇත. කඳුකරයේ මහාමාර්ගවල දුෂ්කර තත්ත්වය සැලැකිල්ලට ගන්නා විට මීදුමක් පැතිර යෑමෙන් අවදානම ඉතා ඉහළ යනු ඇත. මෙහි ප්‍රතිඵලය විය හැක්කේ රිය අනතුරු බහුල වීම ය. දැනට ද දිවයින පුරා දෛනිකව වාර්තා වන රිය අනතුරු ප්‍රමාණය ඉහළය. දිනකට මාරක රිය අනතුරු හතක් - අටක් සිදුවන රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව ප්‍රකට ය. මීදුම නිසා කඳුකර මාර්ගවල අනතුරු බහුල විය හැකි ය. මේ අනතුරු වළක්වාගත හැක්කේ ඉතා පරෙස්සමෙන් රිය පැදවීමෙන් හා අනවශ්‍ය ගමන් කපා හැරීමෙන් ය. නොසැලකිල්ල නිසා රටේ අනතුරු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ප්‍රකට කාරණයකි. විපත්තිදායක අවස්ථාවලදී නොසැලකිල්ලට පුංචි හෝ ඉඩක් නැති බව ද කිව යුතු ය.

අපේ ධීවරයන්ගේ චිරාගත සිරිත වී ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු හැඟවීම් නොසලකා හැරීම ය. දෙපාර්තමේන්තුව අධික වර්ෂාව යැයි සඳහන් කළහොත්; එදිනට හොඳින් පායන බව පොදු පිළිගැනීම වී තිබිණි. අතීතයේ දෙපාර්තමේන්තුව සතුව තාක්ෂණික පහසුකම් පැවැතියේ අඩුවෙන් ය. නූතන තාක්ෂණික මෙවලම් අප සතු වූයේ නැත. එහෙත් අද තත්ත්වය වෙනස් ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශන නොසලකා මුහුදු ගිය ධීවරයන් අවස්ථා කිහිපයකදී ම අනතුරට ලක් වූ බව වාර්තා විය. පවතින තත්ත්වය යටතේ නාවුක හා ධීවර කටයුතු සම්බන්ධයෙන් අනතුරු හැඟවීම් නිකුත් කර ඇත. මුහුදු සුළ‍ඟේ වේගය දැඩි විය හැකි බව ද අධික වර්ෂාව පැවැතිය හැකි බව ද අනතුරු හැඟවීම්වල සඳහන් ය.

දින දෙකක් තුළ පැවැති වේගවත් සුළං හා තද වර්ෂාව නිසා විශාල ගස් තොගයක් කඩා වැටී ඇත. ඇතැම් ගස් මහාමාර්ග මතට වැටී ඇති අතර සමහර ගස් ගොඩනැගිලි මතට වැටී විනාශයක් සිදු වී ඇත. විදුලි රැහැන් මතට ද, විදුලි කාණු මතට ද ගස් වැටීම නිසා තවත් විනාශයක් සිදු වී ඇත. දඹුල්ල, පුත්තලම, අනුරාධපුරය, ගම්පහ, වව්නියාව ආදී ප්‍රදේශවලින් ඉහත අනතුරු වාර්තා වී ඇත. විශේෂයක් ලෙස සඳහන් කළ හැක්කේ වැව් බැමි අතර ආරක්ෂාවට පිහිටුවා තිබූ පුරාණ වෘක්ෂ ද සුළඟ නිසා ඇදවැටී ඇති බව ය. මේ මඟින් වැව් බැමිවලට ද හානි සිදුවිය හැකිය. අධික වර්ෂාවක් පවතින අවස්ථාවක වැව් බැමිවලට හානි සිදුවීම අන්තරායදායක ය. අවදානම් සහගත ව පවතින ගස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව මෙහිලා සඳහන් කළ යුතු විශේෂ කාරණය වෙයි.

රටේ අයහපත් කාලගුණය සමාලෝචනය කරන විට එහි පැතිකඩ දෙකක් දකින්නට ලැබේ. ප්‍රදේශ ගණනාවක් ජල හිඟයෙන් හා වියළි කාලගුණයෙන් පීඩා විඳියි. ඇතැම් ප්‍රදේශවල දරුණු ජල හිඟයක් පවතී. ඒ අතර තවත් ප්‍රදේශ අධික වර්ෂාවෙන් ද, දැඩි සුළඟින් ද පීඩාවට පත් වී ඇත. කාලගුණය සම්බන්ධයෙන් අසමතුලිත තත්ත්වයක් දකින්නට ලැබේ. නියඟයට හා ජල හිඟයට බලපා ඇත්තේ රටේ පාරිසරික තත්ත්වය යැයි කිව හැකි ය. දීර්ඝ කාලයක සිට අප පරිසර සංරක්ෂණය අතහැර තිබේ. නැතහොත් නොසලකා හැර තිබේ. අධික වර්ෂාවට හා තද සුළඟට බලපාන්නේ කලාපීය සාගරයේ අහිතකර තත්ත්වයන් බව කිව හැකි ය. කලාපීය සාගර තත්ත්වයන්ගෙන් වෙනස්වීම් සිදුවන්නේ ගෝලීය ක්‍රියාකාරකම්වලට අනුව යැයි සිතන්නට පුළුවන.

දකුණු ආසියාවේ වැඩියෙන් ම ස්වාභාවික විපත්වලට මුහුණ දුන් රාජ්‍යය ‍බංගලිදේශය යැයි කීම නිවැරැදිය. මේ වන විට ඉන්දියාව කරා ද ස්වාභාවික විපත් වේගයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබේ. ආසියාව ගතහොත් චීනය කරා ද ස්වාභාවික විපත් ව්‍යාප්ත වෙන්නට පටන්ගෙන තිබේ. මේ රටවල් ස්වාභාවික විපත්වලට මුහුණ දෙන ආකාරය සොයා බැලීම වැදගත් ය. බංගලිදේශය පවා ස්වාභාවික විපත්වල අනතුරු අවම කරගන්නා තැනක පසුවෙයි. දිගුකාලීන අත්දැකීම් හා උපායමාර්ග මේ පසුපස ඇති සාධකය ලෙස සැලැකිය හැකි ය. ශ්‍රී ලංකාව ද ස්වාභාවික විපත්වල අනතුරු අවම කර ගැනීමට ක්‍රියා කළ යුතු ය.

 

නව අදහස දක්වන්න