රට හදන්න පුළුවන් කාට ද? | දිනමිණ

රට හදන්න පුළුවන් කාට ද?

රට හදන්න පුළුවන් කාටදැ’යි ප්‍රශ්නයක් නැඟුවහොත්; ඊට සරල පිළිතුරක් නැත. මේ සඳහා ඉදිරිපත් වන ජනප්‍රිය පිළිතුරු දෙස බලන විට පෙනී යන්නේ ජනතාව ඒ ඔස්සේ බොහෝ විට පරාජයට පත් වී ඇති බව ය. ශ්‍රී ලංකාවේ තට්ටු මාරු දේශපාලනය සමඟ ද ජනප්‍රිය පිළිතුරු සම්බන්ධ වෙයි. නායකයන් පිළිබඳ ගනු ලබන තීරණ ඉතා බුද්ධිමත් විය යුතු බව එයින් සනාථ වෙයි. එහෙත් නායකයන් නැති ව රටක් ගෙන යා නො හැකි ය. ආණ්ඩුවක් ගෙන යා නොහැකි ය. ආර්ථිකය ශක්තිමත් කර ගත නො හැකි ය. වැදගත් වන්නේ හරි නායකයා තෝරාගැනීම ය. නායකයා යනු කවරෙක් ද? ඔහු කෙබඳු පුද්ගලයකු විය යුතු ද?

නායකයන් ලෙස පෙනී සිටින්නට කැමැති විශාල පිරිසක් අප අතර සිටිති. මෙයින් කිහිප දෙනෙක් රටේ නායකත්වය ඉල්ලා සිටිති. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රටේ නායකයා ඡන්දයෙන් තෝරාගනු ලබයි. ඒකාධිපති රාජ්‍යවල නායකයන් රජ පවුල්වලින් තෝරාගනු ලබයි. සමාජවාදී රාජ්‍යවල නායකයන් දේශපාලන මණ්ඩල විසින් තෝරාගනු ලැබේ. නූතන ලෝකය ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය යි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික තැන ලැබෙන්නේ මහජන අභිමතයට ය. මහජන අභිමතය කොතැන ද? එතැනින් නායකයන් බිහිවනු ඇත. එලෙස බිහිවන නායකයාට දැක්මක් තිබිය යුතුය. මහජනයා ගැන හැඟීමක් තිබිය යුතුය.

නායකයාගේ දැක්ම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? ඔහුට හෝ ඇයට හෝ රට හා ජාතිය ගොඩනැඟීමට ද සෙසු රාජ්‍යයන් සමඟ ගනුදෙනු කිරීමට ද සාර්ථක සැලැසුමක් හා වැඩසටහනක් තිබිය යුතු බව මෙයින් අදහස් කෙරේ. නායකයාගේ දැක්ම එක අතෙකින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුය. ඒ මගින් ජනතාවගේ ගැටලු විසැඳිය යුතුය. අනෙක් අතින් බියෙන් - සැකයෙන් තොර නිදහස් ජීවිතයක් ගත කිරීම සඳහා ජනතාවට ඉඩ ප්‍රස්තා ලැබිය යුතුය. ඒ තරමට ම වැදගත් වන අනෙක් කාරණය වන්නේ සියලු ජාතීන්ට හා සියලු ආගම්වලට සමාන අවස්ථා ලබාදෙන අවකාශයන් නායකයාගේ වැඩසටහන් තුළ තිබිය යුතු බව ය.

මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ගැටලුව කුමක් ද? කොයි අතින් බැලුව ද එය කේන්ද්‍රගත වන්නේ ආර්ථිකය දෙසට ය. කෘෂිකර්මයේ කඩා වැටීම, විදේශීය ණය බර, සංචාරක කර්මාන්තයේ පිරිහීම, ආදායම් මාර්ග අවහිර වීම, තරුණ පරපුරේ විරැකියාව, විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්නය අප මුහුණ දෙන ප්‍රධාන ආර්ථික ගැටලු ලෙස සැලැකිය හැකි ය. ආර්ථිකය හා ජාතීන් අතර සමගිය අතර සම්බන්ධයක් පවතී. ආර්ථිකය හා ත්‍රස්තවාදය අතර ද සම්බන්ධයක් පවතී. ආර්ථිකය පිරිහෙන විට ජාතික සමගිය බිඳ වැටෙන්නට පුළුවන. ආර්ථිකය පිරිහෙන විට ත්‍රස්තවාදය නැඟී සිටින්නටත් පුළුවන. 1971, 1988 දකුණෙන් ද, 1980 ගණන්වල සිට උතුරෙන් ද එම අත්දැකීමට අපි මුහුණ දුන්නෙමු.

රටේ නායකයන් බිහිවිය යුත්තේ ප්‍රධාන දේශපාලන ධාරාවන් ඔස්සේ යැයි පිළිගැනීමක් මහජනයා අතර තිබේ. ප්‍රධාන දේශපාලන ධාරා ‍දෙකෙන් තොර ව රටට නායකයන් බිහි වී නැති බව ද පිළිගත හැකි ය. ඒ අනුව මහජනයාගේ විශ්වාසය ප්‍රායෝගික සත්‍යයක් බව පෙනී යයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක හැටියට සැලැකිය හැක්කේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. විවිධ දේශපාලන හේතු මත මේවා ද පොදු සන්ධාන බවට පත් වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ඇති අතර ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් වී ඇත්තේ එහි ම විකල්ප ධාරාවෙන් ය. එක්සත් ජාතික පක්ෂය පොදු පෙරමුණක් හා පොදු සන්ධානයක් ලෙස කේන්ද්‍රගත වෙමින් සිටින අතර ජනාධිපති අපේක්ෂකයා තවම තීන්දු කර නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප ධාරාව මහින්ද පාර්ශ්වය ලෙස ද, පොහොට්ටු පක්ෂය ලෙස ද හඳුන්වනු ලැබේ. එහි නායකයා මහින්ද රාජපක්ෂ මහතා වන අතර ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා ය. පෙරේදා පැවැති නිල රැස්වීමේ දී කියැවුණේ ජාතික ආරක්ෂාව අංක එකට ලා සලකන බව ය. රටේ ආර්ථිකය ගොඩනංවන ආකාරය ගැන සංවාදයක් ඔවුන් අතර නැති බවක් පෙනී යයි. මෙතෙක් එබඳු ආර්ථික සැලැසුමක් හෝ ආර්ථික වැඩසටහනක් හෝ ඉදිරිපත් වී නැත. මිලිටරි අත්දැකීම් ඇති ජනාධිපති අපේක්ෂකයා ජාතික ආරක්ෂාව ඔස්සේ මහජන ප්‍රසාදය දිනා ගැනීමට උත්සාහ දරන බව පෙනෙයි. ජාතිවාදය හා ආගම්වාදය මේ සමඟ ඉතා හොඳින් පෑහෙන්නට පුළුවන.

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දැක්ම හා වැඩසටහන 2015 සිට සංවාදයට ලක්වෙමින් ක්‍රියාත්මක වෙයි. එහි නිර්මාතෘ ලෙස සැලැකිය හැක්කේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය. මේ ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රධාන සාධක තුනක් පවතී. එක; අපනයන ආර්ථිකය යි. දෙක; ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව ඔසොවා තැබීම ය. තුන; සාගර ආර්ථිකය යි. සාගර සම්පත්වලින් උපරිම පල නෙළාගැනීම එහි ඉලක්කය වෙයි. මේ සාධක තුන දෙස බලන විට කරුණු දෙකක් සනාථ වෙයි. පළමුවන කාරණය නම්; ඉහත ආර්ථික වැඩසටහන ක්‍රමික නැග්මක් සහිත රටට ගැළපෙන එකක් බවය. දෙවන කාරණය නම්; එය ලෝක ආර්ථික යථාර්ථයන් සමඟ මැනැවින් බද්ධ වන බවය.

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් ජනතාවගේ සාක්කුවට සල්ලි ලැබෙන ක්‍රමවේද හඳුන්වා දුන්නේ ය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනසවිය හා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන් හඳුන්වා දෙමින් දුප්පත්කම පිටු දකින ආකාරය රටට පෙන්වා දුන්නේ ය. එ.ජා.ප. නායකයන්ගේ ආර්ථික සංකල්ප හා වැඩසටහන් හැමවිට ම මහ පොළොවේ යථාර්ථයක් බවට පත්වෙමින් ඒවායෙහි ප්‍රතිලාභ ජන සමාජය අතර බෙදීගිය බව අවිවාදිත ය.

පොදු ජනතාවගේ අපේක්ෂාව වන්නේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කළ හැකි ආර්ථික වැඩසටහනක් සහිත නායකයෙකි. මිනිසුන්ගේ නිදහසට හා අයිතියට අත නොතබන නායකයෙකි. එවැන්නකු තෝරාගැනීම සඳහා ජනතාව හදවතින් නොව, බුද්ධියෙන් තීන්දු තීරණ ගත යුතුව තිබේ.

 


නව අදහස දක්වන්න