රුදුරු ගිනි කඳට අපෙ පවුලම දැවී ගියෙන් පුතුනේ එන්න යමු නිවනට සතුටු සිතින් | දිනමිණ

රුදුරු ගිනි කඳට අපෙ පවුලම දැවී ගියෙන් පුතුනේ එන්න යමු නිවනට සතුටු සිතින්

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

තමන් සමඟ එක්ව ගමන්ගත් සිය බිරිය, නැන්දණිය, දරුවන් ඇතුළු ඥාතීන් තම දෑස් ඉදිරිපිටදීම බුර බුරා ඇවිළුණු රුදුරු ගිනි ජාලාවකට මැදිව දැවී පිළිස්සී යනු දුටු ආදරණීය පියකු, තමන් සමඟ එම අනතුරින් දිවි ගළවාගන්නට වාසනාව ලද සිය එකම පුතු සමඟින් පැවිදි දිවියට ඇතුළත්වීමේ අතිශය සංවේදී පුවතක් පසුගියදා ඉංගිරියට නුදුරු බටුගම්පළ, නිමගලම විහාරස්ථානයේදී දැකගන්නට ලැබුණි.

මෙයට වසර හතහමාරකට පමණ පෙර එනම් 2012 ජනවාරි 26දා සිදුවූ අනුවේදනීය සිදුවීමක් මෙම ප්‍රවෘත්තියට පසුබිම් කතාව සපයන අතර, ඉංගිරියට නුදුරු හඳපාන්ගොඩ, බටුගම්පළ පදිංචි 42 හැවිරිදි සුසන්ත සංජීව ගිනිමලගේ මහතාත්, ඔහුගේ පුතාත් මෙම බිහිසුණු අනතුරින් දිවි ගළවා ගත්තේ බරපතළ පිළිස්සුම් තුවාල ලබමිනි. ඔවුන්ගේ දියණිය සුසන්ත මහතාගේ බිරිය විසින් බුර බුරා ඇවිළුණු ගිනි ජාලාව මැදින් වෑන් රියෙන් එළියට විසිකිරීමෙන් ඇගේ ජීවිතයද බේරී තිබේ.

මෙම සිද්ධිය වනවිට සුසන්ත මහතා පනාගොඩ යුධ හමුදා කඳවුරේ සිවිල් සේවකයකු වශයෙන් සේවය කර ඇති අතර, තම පවුලේ සාමාජිකයන් සමඟ අවමඟුල් උළෙලකට සහභාගි වී නැවත පැමිණෙද්දී කළුතර, ඇළමෝදර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. ගිනිගත් වෑන්රියේ පෙට්‍රල් ටැංකියක් තිබී නැති බවත්, ප්ලාස්ටික් කෑන් එකකට පිරවූ පෙට්‍රල්, වයරයක් මඟින් එන්ජිමට ලබාදීම මඟින් වාහනය ධාවනය වී ඇති බවත් ඒ දිනවල මාධ්‍ය මඟින් වාර්තා කර තිබූ අතර, ගිනිගත් වෑන් රියේ පිටුපස තවත් පෙට්‍රල් කෑන් එකක් තිබී ඇති අතර, ගින්න ක්ෂණිකව වෑන් රිය පුරා පැතිර යෑමට එයද හේතුවක් වී තිබූ බවත් වාර්තා විය.

මෙම සිද්ධියට මුහුණ පා එය සියැසින්ම දුටු සුසන්ත මහතාට සසර ගමනේ කෙළවරක් නැතැයි හැඟුණු අතර, ඔහු මහමඟ වඩින භික්ෂූන් වහන්සේලා දෙස බලාසිටින්නට වූයේ ඉමහත් භක්තියකිනි. නමුත් ඔහුගේ පැවිදිවීමට සිත තුළ උතුරාගිය ආශාව සිත තුළම සිරකර ගැනීමට සිදුවූයේ මවද අහිමි සිය පුංචි පුතු සහ දියණිය මෙලොව තනිකර දමා එම ගමන යෑමට සිත හදාගත නොහැකි වූ නිසාවෙනි.

සුසන්ත මහතාට පනල්ල මුල්කැටියාගොඩ ශ්‍රී ගංගාතිලක විහාරාධිපති ජගුල්ලේ සෝමාලෝක හිමියන් මුණගැසෙන්නේ මෙලෙස දහසකුත් එකක් ගැටලු මැද සිටියදීය. සුසන්ත මහතාගේ දුක්ගැනවිල්ල අසා සිටි සෝමාලෝක හිමියෝ, සුසන්ත මහතාගේ ගමට ආසන්නව පිහිටි ඉංගිරිය, නිමලගම විහාරස‍්ථානයේ විහාරාධිකාරී, හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහ‍ලේ ආචාර්ය ඇතිමලේ සද්ධාලංකාර හිමියන් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 14 වියැති සුසන්තගේ එකම පුතු බටුගම්පළ පඤ්ඤාලෝක නමින් පසුගියදා සසුන්ගත වීම සිදුවිය.

පසුව දියණිය සිය සොහොයුරකුගේ භාරකාරත්වයට නීත්‍යානුකූලව පැවරීමෙන් අනතුරුව සුසන්ත මහතාද ගඟුල්ලේ සෝමාලෝක සහ ඇතිමලේ සද්ධාලංකාර හිමිවරුන්ගේ ආචාර්යත්වය යටතේ බටුගම්පළ විසුද්ධාලංකාර නමින් පැවිදි දිවියට ඇතුළත් වූයේ පැවිදිවීමට දිගුකලස සිට සිය සිත තුළ පැවතුණු ආශාව මුදුන් පමුණුවා ගනිමිනි.

මෙම පිය-පුතු දෙපළ පිළිගැනීමේ උත්සවයක් පසුගියදා ඉංගිරිය, බටුගම්පළ, නිමගලම විහාරස්ථානයේදී පැවති අතර, කසාවතින් සැරසුනු මෙම ආදරණීය පිය-පුතු දෙපළ මහමඟ එක පෙළට වැඩමකළේ බලාසිටි සියල්ලන්ගේම දෑස් අග කඳුලින් තෙත්කරමිනි.

 


නව අදහස දක්වන්න