හොඳම ටෙස්ට් කණ්ඩායම තෝරන ලෝක ටෙස්ට් ශූරතාවලිය | දිනමිණ


 

හොඳම ටෙස්ට් කණ්ඩායම තෝරන ලෝක ටෙස්ට් ශූරතාවලිය

ෆවුස් මොහොමඩ්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුහුණුවර තුනටම (ටෙස්ට්, එක්දින, විස්සයි20) ශූරතා තරගාවලියක් ලබා දීමේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ඉලක්කයට අනුව ආරම්භ කළ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන දෙවැනි තරගාවලිය ශ්‍රී ලංකා -නවසීලන්ත ටෙස්ට් තරගමාලාවය. මේ මස 1 වැනිදා එංගලන්ත - ඔස්ට්‍රේලියා අළුබඳුන ටෙස්ට් තරගමාලාවෙන් ඇරැඹි ලෝක ටෙස්ට් ශූරතාවලිය ලබන 2021 වසරේ ජූනි මාසයේ දි නිමාවට පත්වෙයි.

පුරා වසර දෙකක් ටෙස්ට් ක්‍රීඩාවේ නිරත ප්‍රබලතම රටවල් 9ක් රටවල් දෙකක් අතර පැවැත්වෙන ටෙස්ට් තරගමාලා 27කට ක්‍රීඩා කරමින් ලොව විශිෂ්ටතම ටෙස්ට් කණ්ඩායම බවට පත්වීමේ අරමුණින් තරග වදිනු ඇත. එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් පිල ටෙස්ට් ශූරතාවලියට එක්වී සිටින්නේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කණ්ඩායම් ලෙසටය.

පළමු වරට 2009 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමකදී යෝජනා වූ මේ ශූරතාවලිය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබුණේ 2013 වසරේදිය. අයි.සී.සී. චැම්පියන් කුසලාන තරගාවලිය අවලංගු කරමින් කණ්ඩායම් 10ක් වසර 4ක කාලයක් පුරා මේ ශූරතාවලියට ක්‍රීඩා කිරීමට යෝජනා වී තිබුණු අතර පසුව මූල්‍යමය අර්බුද රැසක් මැද එය කල් දැමීමට සිදුවිය. අනතුරුව 2017දී යළි ආරම්භ කිරීමට සැලසුම් කළ ද යළි එය කල් දැමීමට සිදුවිය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේදි සෑම කණ්ඩායමක්ම සිය රටේදි සහ විදේශයේදි තරගමාලා 3කට බැගින් ක්‍රීඩා කරන අතර සෑම තරගමාලාවක්ම අවම වශයෙන් තරග 2ක් ද, උපරිම වශයෙන් තරග 5ක් ද විය යුතුය. මෙහිදි සෑම තරගයකටම ප්‍රසාද ලකුණු ලැබෙන අතර මුළු තරගමාලාවේ සමස්ත ප්‍රසාද ලකුණු ප්‍රමාණය 120කි. ඒ අනුව ටෙස්ට් තරග 2කින් සමන්විත තරගමාලාවක එක් ජයග්‍රහණයකට හිමිවන ප්‍රසාද ලකුණු ප්‍රමාණය 60කි. තරග 5කින් සමන්විත ටෙස්ට් තරගමාලාවක එක් ජයග්‍රහණයකට හිමිවන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 24කි.

 

නව අදහස දක්වන්න