මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වෙන් වේගය සොයන ශයනි | දිනමිණ


 

මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වෙන් වේගය සොයන ශයනි

ශ්‍රී ලංකාව පුරා විහිදුනු දක්ෂතම වේග පන්දු යවන්නන් සොයා ක්‍රියාත්මක කරන ‘Airtel Fastest’ වැඩසටහන මඟින් පිරිමි හා කාන්තා දෙපාර්ශ්වයටම සම අවස්ථාවන් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස ශයනි සේනාරත්න කරළියට පැමිණ තිබේ.

‘මට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් තමයි මගේ පළමු පුහුණුකරුවන්. අනෙක් සෑම නිවසකම වගේ මම ඔවුන් එක්ක පාරේ මෙන්ම නිවස ඇතුළෙත් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. මට මේ ක්‍රීඩාවට කැමැත්තක් ඇතිවෙන්න මූලාරම්භය වුනේ එයයි’

මහනුවරදී උපත ලබා ඇති ශයනි, වත්තේගම බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන හදාරා ඇත. පසු කලෙක ඇගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩිකාවක් වීමේ සිහිනය සැබෑකරගැනීමේ අරමුණින් යුතුව තෙල්දෙනිය ජාතික පාසලට පිවිසියාය.

‘මට අවුරුදු හයේදී තමයි පළමු වරට ක්‍රිකට් ක්‍රීඩා කළේ. අවුරුදු 15ක් වෙද්දි මම ‘සදර්න් ලේඩීස්’ ක්‍රිකට් සමාජයෙන් මුල්ම පළමුපෙළ තරගයට සහභාගි වුණා’ යැයි සිය ක්‍රිකට් දිවියේ ආරම්භය පිළිබඳ ඇය පැවසුවාය.

තෙල්දෙනිය ජාතික පාසලේදී ඇගේ වයස් කාණ්ඩයේ නායකත්වය හොබවා ඇති ශයනි දෙවරක්ම ශූරතාව දිනාගැනීම සඳහා කණ්ඩායම මෙහෙයවා තිබේ. මෙතෙක් පැමිණි ගමන් මගේදී ඇගේ මව දැවැන්ත ශක්තියක් වෙමින් ඇගේ සෙවනැල්ල සේ කටයුතු කර තිබීම පැසසුම් සහගතය.

‘මට මූලික තෝරා ගැනීමේ තරගයේදී පන්දු යවන්න සිදුවුණේ පිරිමි ළමයි විතරක් හිටපු අවසන් කණ්ඩායම එක්ක. දෙවැනි වටයට පිවිසෙන්න අවශ්‍ය වේගය මට එම වටයෙදි ලබාගන්න හැකිවුණා’

මේ පුහුණුවීම් අතරතුරදී අනූෂ සමරනායක සහ චමින්ද වාස් යන මහත්වරුන්ගෙන් ලද උපදෙස් පිළිබඳවද ඇය සිහිපත් කළාය.

‘අනූෂ සර් මට පැවැසුවා ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමානකමක් ඇති මගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කරන්න එපා කියලා. ආබාධ වලින් වැළකීමට මම කළ යුතු වෙනස්කම් කිහිපයක් ඔහු මට ඉගැන්නුවා. කොන්දේ ආබාධයන්ට ලක්වීම නිසා ඉස්සර මට පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කරන්නත් සිදුවුණා. ඒ නිසා ඔහු ලබාදුන් එම උපදෙස් ඉතාමත් උපකාරී වුණා’

‘චමින්ද සර් අපිට පන්දු යැවීමට දිවීමේ සිට පන්දුව යොමු කරන අවස්ථාව දක්වාම බොහෝ දේ කියලා දුන්නා. ඒ වගේම ඔහු මට කියලා දුන්නා මගේ ශරීරයේ බර හා ශාරීරික යෝග්‍යතාව සමබර කරගන්න ආකාරය’ යැයි පුහුණුව පිළිබඳ අදහස් දැක්වූ ශයනි පැවැසුවායි.

‘Airtel Fastest’ තුළින් ලද පන්නරය පිළිබඳ ඇගේ අදහස වූයේ මෙවැන්නකි ‘මේ වැඩසටහන විශේෂයෙන්ම අපි වගේ ක්‍රීඩිකාවන්ට උපකාරී වෙනවා.

දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩිකාවන් විශාල පිරිසක් රටතුළ සිටිනවා. අවාසනාවන්ත ලෙස පිරිමි කොට්ඨාසය පමණක් මේ ක්‍රීඩාව තුළ ආධිපත්‍ය ගෙන කටයුතු කිරීම කනගාටුවට කරුණක්. ඒනිසා ක්‍රීඩාව තුළ රැඳෙන්න මෙවැනි අවස්ථා ඉතාමත්ම වටිනවා. ‘Airtel Fastest’ අපිට අපේ දක්ෂතාවන් පෙන්වන්න අවස්ථාව සලසන අතරම අපේ සිහින සමඟ ගමන් කරන්න පොළඹවනවා’ යනුවෙනි.

‘ස්ලිංගා-මාලිංග’ විරුදාවලියේ කාන්තා හිමිකාරිත්වය උදාකරගැනීමට අවස්ථාව හිමිවී ඇති ශයනි සේනාරත්න සමඟ නව යුගයක බලාපොරොත්තු උදාවී තිබේ.

නව අදහස දක්වන්න