අපට බාධා නොකළා නම් රටේ නොවූ විරූ සංවර්ධනයක් අද ඇතිවෙලා | දිනමිණ


 

අපට බාධා නොකළා නම් රටේ නොවූ විරූ සංවර්ධනයක් අද ඇතිවෙලා

කමනි අල්විස්

ජනතාවට බය-සැක නැතිව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව හැදුවේ අපි
රණාල ජල්තර මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමය විවෘත කරමින් අගමැති කියයි

අපේ ප්‍රධාන හතුරා දුප්පත්කම බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දුප්පත්කම පිටුදැකීමට ක්‍රියා කරගෙන යන විටදී ඇතැමුන් පවසන්නේ දේශපාලන වාසි ගැනීමට ක්‍රියා කරන බව යැයි සඳහන් කළ අගමැතිවරයා බාධක ඇති නොකළා නම් රටේ නොවූ විරූ සංවර්ධන කටයුතු ඉටු කිරීමට හැකි වන බවත් ‍මෙහිදී පෙන්වා දුන්නේය.

දුප්පත්කම නැති කිරීම අරමුණු කරගෙන ඉදිරියටම ගමන් කරන බව අගමැතිවරයා අවධාරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (12) රණාල ජල්තරදී මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

'ග්‍රීන් වැලි රෙසිඩන්සීස්' නමැති මේ නිවාස යෝජනා ක්‍රමය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. දේශීය ආයෝජකයන්ගේ දායකත්වයෙන් මධ්‍යම පාන්තිකයන් රාජ්‍ය සේවකයන් උදෙසා නිර්මාණය කරන ලද ප්‍රථම නිවාස යෝජනා ක්‍රමය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.

මෙහි දේශීය ආයෝජනය ‍හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් පෞද්ගලික සමාගමයි. රුපියල් මිලියන එක්දහස් නමසීයකට අධික මුදලක් එම පෞද්ගලික සමාගම දරා තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමඟ ඒකාබද්ධව අංග සම්පූර්ණ නිවාස යෝජනා ක්‍රමය ඉදිකර තිබේ. පිහිනුම් තටාක දෙකක්, ළමා උද්‍යානයක්, කායවර්ධන ඒකකයක්, කුඩා වෙළෙඳ සංකීර්ණයක් යනාදී පහසුකම් රැසකින් මේ නිවාස සංකීර්ණය සමන්විතය. රාජ්‍ය බැංකුවල දායකත්වයෙන් විශේෂිත ණය මුදල් ගැනුම්කරුවන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනිමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා නිවාස යෝජනා ක්‍රමය වෙත කැඳවාගෙන යනු ලැබීය. සමරු ඵලකයක් නිරාවරණය කරමින් අගමැතිවරයා නිවාස යෝජනා ක්‍රමය විවෘත කළේය. ඉන්පසු නිවාස නිරීක්ෂණයට එක්වූ අගමැතිවරයා ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සමඟ සුහද කතාබහක යෙදෙමින් නිවාස සම්බන්ධව විමසීම් කළේය.

පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීමෙන් පසු මහා සංඝරත්නය සෙත්පිරිත් දේශනා කළහ.

තවදුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මට මතකයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇමැති මණ්ඩල අනු කමිටුවට ආර්ථික කමිටුවට පැමිණ මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම පිළිබඳව යෝජනා කළා. එම යෝජනාවට අප සැමගේ පූර්ණ සහාය ලබා දුන්නා.

පොහොට්ටුවේ සම්මේලනය පවත්වා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකත්වයට පත් කරමින් සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළා. කොබෙයියන්ගේ දේශපාලනයේ මේ අය නිරතව ඉන්නවා. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි.

1980 දිවංගත ජනාධිපති ප්‍රේමදාස මහතා අවිස්සාවේල්ලේ උදාගම් ඉදි කළා. අද එයට වඩා වෙනස්. මේ ප්‍රදේශවල වෙසෙන මධ්‍යම පාන්තික ජනතාව රජයේ සේවකයන් පහසු මිලට නිවාස ලබාගැනීමට ඉල්ලීම් කරනවා. පෞද්ගලික අංශය සමඟ එක්වී රාජ්‍ය පෞද්ගලික අංශයේ සුසංයෝගයෙන් නිවාස ව්‍යාපෘතින් ඇති කරනවා. නිවාස අමාත්‍යාංශය ඉදිරියට පැමිණ මුදල් අමාත්‍යාංශය සමඟ එක්වී අඩු පොළියට නිවාස ණය ලබා දෙනවා. ඒ යටතේ සැමට නිවසක හිමිකාරීත්වය ලබා දෙනවා.

සජිත් ඇමැතිගේ නිවාස යෝජනාවට ප්‍රශංසාව පළ කරනවා. ඇමැතිවරයා ගම්මානවල නිවාස හිඟය හඳුනාගත්තා. ඒ සම්බන්ධයෙන් කරුණු මටත් පෙන්වා දුන්නා. උදේ හවස නොබලා ගම්වලට ගිහින් සිය ගණනක් ගම්මාන විවෘත කරනවා. එතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ගමේ උදවියට නිවසක් සමඟ ඉඩමක හිමිකම ලැබෙනවා. යාපනය, වඩුකොබෙයි, චාවකච්චේරිය හෝ හාලිඇලට යනවා. රට වටේම ගොස් නිවාස ජනතා අයිතියට පත් කරනවා. රටට විශාල වැඩ කොටසක් එතුමාගෙන් ඉටු වුණා. සජිත් ඇමැති පියා වාගේම දවසේ පැය විසි හතරම වැඩ කරන ඇමැතිවරයෙක්. සංස්කෘතික කටයුතු සඳහාත් දායකත්වය ලබා දෙනවා. නව බලාපොරොත්තු ලබා දෙනවා. නව බලාපොරොත්තු අඩු ආදායම්ලාභීන්ට ඇති කරමින් ලබාදෙන සහායට එතුමාට ප්‍රශංසා කරනවා.

රජයේ ප්‍රතිපත්තිය සෑම ක්ෂේත්‍රයකම ජනතාවට නිවාස ලබාදීමයි. එය සිදු වෙනවා. නාගරික අඩු ආදායම්ලාභීන් වතුකරය, ග්‍රාමීය, මධ්‍යම පාන්තිකයන් යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල පවුල් සඳහා නිවාස ඉදි වෙනවා. මහාමාර්ග ඉදි කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම්, ලබාදෙමින් සාර්ථක ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරනවා.

ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරමින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා. එපමණක්ද නොව අතුරුදන්වූවන්ගේ කාර්යාලයක් වන්දි පූර්ණ කාර්යාල ඇති කළා. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් අප රටේ ඇති කළා.

අතීතයේදී යමකු කෑ ගැසුවා නම් සුදුවෑන් එකක ගෙන යනවා. සෑම නාලිකාවකින්ම මාධ්‍යයකින්ම මට බනිනවා. පාරේ මාගේ අනුරුව සහිත පඹයන් පුච්චනවා. මේ සේරම කරන්නේ අප ඇති කර දුන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නිසයි. අපිට විරුද්ධ නඩු පැවරීමටත් නිදහස ලබාදී තිබෙනවා. විශ්වාසභංග දෙකකට මම මූණ දුන්නා. බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය සාමකාමී වටපිටාව අප නිර්මාණය කර දුන්නා.

මාතෘ භූමියේ සැමදෙනාගේම ආරක්ෂාව තහවුරු කරන බවට පොදු පෙරමුණ අපේක්ෂකයා කිව්වා. ඝාතනය වූ අතුරුදන් වූ හිරිහැර විඳපු සෑම දෙනාගෙන්ම පරණ පව්වලට ඔහු සමාව ගන්නවාද? (මෙහිදී සභාවේ සිටියවුන් හඬ නඟා සිනාසුණි) ඇයි හිනාවෙන්නේ. ඒ කාලේ මතකයි නේද?

රටේ නිදහස තහවුරු කිරීමට ප්‍රකාශ කරන්නා නිදහස කම්මුතු කරනවා. තියන නිදහසත් නැති කරනවා. කොබෙයියන්ගේ දේශපාලනයට යනවාද? එසේ නැත්නම් ක්‍රියාවෙන් නිදහස රැකගෙන මේතාක් දුර පැමිණියේ කවුරුන්දැයි මැනවින් සිතා බලා කටයුතු කරන්න.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා-

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්මාණශීලී දැක්ම මත එතුමාගේ උපදෙස් මත මේ නිවාස යෝජනා ක්‍රමය බිහි වුණා. අගමැතිතුමාට කෘතවේදීත්වය පිරිනමනවා.

නිවාස අමාත්‍යාංශය සමඟ එක්ව පාස්කරලිංගම් මහතාගේ සභාපතිත්වයෙන් මෙහෙයුම් කාරක කමිටුවක් පත් කරලා වෙනම කළමනාකරණ ඒකකයකුත් අගමැතිතුමා පත් කළා. දැවැන්ත රාජ්‍ය මැදිහත්විමකිනුයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ.

මාගේ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව අගමැතිතුමා ප්‍රශංසනාත්මකව කතා කළා. ජනාධිපතිතුමා සහ

අගමැතිතුමා සංවර්ධන ක්‍රියා නිසි ලෙස ඉටු කරගෙන යාමට පූර්ණ ශක්තිය සහාය ලබාදෙනවා. කකුලෙන් අදින්නේ නෑ. බාධා පමුණුවන්නේ නෑ. මේ බව පැවසීම මගේ යුතුකමක් ලෙස සළකනවා.

නිවාස සිහිනය ජනතාවට සැබෑ කරදීමට ජනාධිපති අගමැති ලබාදුන් අතිවිශාල සහායට කෘතඥපූර්වක වෙනවා.

චම්පික රණවක ඇමැතිවරයා තමන්ට තිබෙන සීමිත සම්පත්වලින් විශාල සංවර්ධන වැඩ කොටසක් ඉටු කරනවා.

කොමිස් මාෆියාව කුඩු පට්ටම් කර දමමින් රාජිත සේනාරත්න ඇමැතිවරයා සෞඛ්‍ය සේවයේ ජනතාවට ඵලදායි විශාල වෙනසක් සිදු කළා.

ළඟම පාසල හොඳම පාසල බවට පත් කරමින් අගමැතිතුමාගේ උපදෙස් මත අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා ට්‍රිලියන ගණනින් අධ්‍යාපනයට යොදවා නිදහස් අධ්‍යාපනයේ නොවූ විරූ ප්‍රතිලාභ දරුවන්ට ලබා දුන්නා.

ධනාත්මක ගුණාත්මක හරවත් වැඩපිළිවෙළ රටට දායාද කරමින් ජනතාවගේ මානව අයිතිය අපගේ ආණ්ඩුව රැක ගත්තා. ජනතාව අපව පත් කළේ ඒ සඳහායි. පුද්ගලික රාජ්‍ය ඒකාබද්ධ හවුල් ව්‍යාපාර හරහා දරාගත හැකි මිලකට නිවාස ලබා දෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් සියයට හතක පොලියට නිවාස හිමිකර ගැනීමට මූල්‍ය ශක්තිය ලබා දෙනවා. වසර 2025 වන විටදී සැමට සෙවණ ලබා දෙන බවට පොරොන්දු වෙනවා. නොවැම්බර් අග වන විටදී පොදු ජනතාව රජ කරන යුගයක් නිර්මාණය කරනවා.

අද වන විට අපගේ අමාත්‍යාංශය උදා ගම්මාන 20000ක් ඇරැඹුවා. පියවර හතරකින් එය ක්‍රියාත්මක වෙනවා. පළමුවන නිවාස දෙදහස් පන්සිය නිම කර අවසන්. ඉතිරි නිවාස දහහත්දහස් පන්සීය තව ක්‍රමවේදයකට ඉදි කරනවා. ඊට හේතුව රටේ පවතින සීමිත ඉඩම් ප්‍රමාණය සැළකිල්ලට ගනිමින්. එම නිසා උදා ගම්මාන මහල් නිවාස වැඩපිළිවෙළ වසර 2020 ජනවාරි පළමුවැනිදා අරඹනවා. දිනකදී පැය විසිහතර පුරාවට ගම්මාන පන්දහසක කටයුතු අරඹනවා. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සතුව තිබුණ නිවාස අමාත්‍යාංශය අද නෑ. නිවාස අමාත්‍යාංශය කොටස් පහකට වෙන්ව තිබෙනවා. සමස්ත නිවාස වැඩපිළිවෙළ එක අමාත්‍යාංශයක් යටතට පත් කර ඒකාබද්ධ නිවාස වැඩසටහන හඳුනාගැනීමේ කාලය පැමිණ තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති හෝමාගම එජාප සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා-

අගමැති සහ සජිත් ඇමැති එක්වී ජනතාවගේ හිසට සෙවණක් ලබා දෙනවා. එක පවුලකට රට බාරදීමට සම්මේලනයක් පැවැත්තුවා. රටට පවුලක් අවශ්‍ය නෑ. ඔවුන් එදා කියපු විදිහට හැඟෙන්නේ මහින්ද අගමැති, චමල් කතානායක, බැසිල් ආර්ථික කටයුතු ඇමැති, ශිරන්ති සහ රෝහිත නාමල් බේබිලාගේ බිරින්දෑවරුන් තවත් තනතුරුවලට.

මේ මොනවා ඔවුන් පැවසුවත් මැතිවරණය දිනන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් දෙසැම්බරයේ බිහි වෙනවා. ජාත්‍යන්තරය ජයගත් පරිණත දේශපාලන නායකයෙක් ඉන්නේ අපිටයි. දුප්පතාගේ හිතවතා ඉන්නේ අපි ළඟයි. ඔවුන් දෙදෙනා එක්වී රට ඉදිරියට ගෙන යනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා-

අගමැතිගේ අදහසට අනුව සජිත් ඇමැතිගේ උපදෙසින් රාජ්‍ය පෞද්ගලික සුසංයෝගයෙන් අද රට පුරා ව්‍යාපෘති දහසයක් මෙයාකාරයට ඉදිවෙනවා. රජයට ඉටු කිරීමට අපහසු නම් පෞද්ගලික අංශය දායක කරගෙන නිවාස ඉදිකිරීම සිදු කරන ලෙසට අගමැතිතුමා උපදෙස් දෙමින් එම කටයුත්ත සජිත් ඇමැතිවරයාට භාර දුන්නා. ඇමැතිවරයා එය ඉතා විශිෂ්ට ලෙස ඉටු කරනවා.

හෝම්ලෑන්ඩ්ස් ස්කයිලයින් ආයතනයේ සභාපති නලින් හේරත් මහතා-

මේ නිවාස ව්‍යාපෘතිය ඔක්තෝබරයේ නිම කිරීමට නියමිතව තිබුණත් මාස කිහිපයකට පෙරාතුව ඉදි කර අවසන් කළා. ඊට සහාය දුන් සෑම තරාතිරමකම සේවකයන්ට කෘතඥතාව පිරිනමනවා.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප - හිරන්ත
ගුණතිලක 

නව අදහස දක්වන්න