වසර 10ක් අමතක කළ වවුනියාවට අපෙන් වසර 5කදී විශාල සංවර්ධනයක් | දිනමිණ


 

වසර 10ක් අමතක කළ වවුනියාවට අපෙන් වසර 5කදී විශාල සංවර්ධනයක්

නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ඉදිකළ නවගොඩනැඟිල්ල විවෘත කිරීම සහ හෘදරෝග ඒකකය, වකුගඩු ඒකකය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ඊයේ(14) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාව. මෙම අවස්ථාවට ඇමැතිවරුන්වන රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන් හා නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනි ඊවා වෑන් වුසර්මින් මහත්ම මහත්මීහු සහභාගිවූහ. ඡායාරූපය- හිරන්ත ගුණතිලක

මේ වෙනස ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බව අගමැති කියයි

ජාතීන් තුනක් සාමකාමීව ජීවත්වන වවුනියාව දිස්ත්‍රික්කය වසර දහයක් අමතක කළ ආණ්ඩුවක් නැවත බලයට ගෙනෙනවාද නැතිනම් වසර පහක් තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් කළ වත්මන් ආණ්ඩුව බලයට ගෙනෙනවාද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. වවුනියාව, අනුරාධපුරය, මන්නාරම දිස්ත්‍රික්ක තුනෙහි කෘෂි කටයුතු සදහා අවශ්‍ය ජල අවශ්‍යතාවය සපුරාලීමට ඉදිරි සතියේදී පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැව­ැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) වවුනියාව දිස්ත්‍රික් රෝහලේ නෙදර්ලන්ත ආධාර ඇතිව ඉදිකළ නව ගොඩනැඟිල්ල ජනසතු කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම වසර පහ තුළදී පමණක් වවුනියාව දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් බිලියන 20.5ක් වැයකොට දැවැන්ත සංවර්ධනයක් කිරීමට හැකිවීම පිළිබඳ තමා අගමැතිවරයා ලෙස ඉතා සතුටුවන බව වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා,

එළැඹෙන සතියේ වවුනියාව, අනුරාධපුරය, මන්නාරම ප්‍රහාරයටත් බලපාන මල්වතුඔය ව්‍යාපෘතිය ආරම්භ කරනවා. එතනින් වවුනියාව දියුණු වෙනවා. වවුනියාව අපි කොන්කළේ, අමාතක කළේ නෑ. අපි වවුනියාව දියුණු කළා. අද වවුනියාව දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස අපි ලබාදී තිබෙනවා. ඒ දියුණුව අපි කරගෙන යනවා.

අපි ඉදිරි වසර පහ තුළදී වන්නි ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් කිරීමට බලාපොරොත්තු වනවා. මේ රටට ආහාර සපයන හොදම ප්‍රදේශයක් ලෙස වන්නිය හදුනගෙන තිබෙනවා. වන්නියට අවශ්‍ය නවීන කෘෂිකර්මය අපි නුදුරේදීම ගොවි මහතුන්ට ලබාදෙනවා. අප රටට පමණක් නොවේ දකුණු ඉන්දියාවට අවශ්‍ය ආහාරත් මෙහිදී සපයාගන්න පුළුවන්. ඒ වගේම ධීවර කර්මාන්තය අපි ශක්තිමත් කළ යුතුයි.

වන්නිය සංවර්ධනය කළ යුතුයි සංවර්ධනය කරනවා නම් සංවර්ධනය කළ හැකි පිරිසක් සමග යා යුතුයි. අතීතයේ වසර 10ක් වන්නිය අමතක කළ අයට නැවත ආණ්ඩුවක් දෙනවාද? නැතිනම් වන්නිය සංවර්ධනය කළ ආන්ඩුව නැවත බලයට ගෙනෙනවාද කියා බුද්දියෙන් සිතිය යුතුයි.

මන්නාරම් පුනරින් අතර ප්‍රදේශයක් අපි සංචාරක කර්මාන්තය දියුණු කරන්න තෝරාගෙන තිබෙනවා. අපි වව්නියාව දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් ග්‍රාමීය මට්ටමෙන් දියත් කරනවා.

අපි වවුනියාවට ඇතිකළ විශාල දියුණුව මෙතෙක් පත්වූ කිසිදු රජයකින් කර නෑ. ඒ පිළිබඳව රටේ අගමැති ලෙස මා ඉතා සතුටු වෙනවා. අපි මෙම වසර තුළ අලුත් පාරවල් 64ක් ඉදිකරනවා වවුනියාව දිස්ත්‍රික්කයේ.

අපි විශාල සංවර්ධනයක් වවුනියාව ප්‍රදේශයට කර තිබෙනවා. නිවාස, ගම්පෙරළිය, යලි පදිංචි කිරීම, විමධ්‍යගත අයවැය, වව්නියා ආර්ථික මධස්ථානය, වියලි කලාපයේ ජලය බෙදාහැරීමේ ව්‍යාපෘතිය, අයිරොයිඩ් ව්‍යාපෘතිය, බිලියන 20.5 ක් වියදම් කර තිබෙනවා. මේ මුදල සදහා උදාගම්මාන ව්‍යාපෘතිය යටතේ ලබාදුන් නිවාස සහ ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ ලබාදුන් පාසල් ගොඩනැගිලි නැතිවයි.

උතුරු පළාතේ රෝහල් නවීකරණයක් සිදුවී තිබෙනවා. අපි මන්නාරමේත් අංගසම්පූර්ණ රෝහලක් ඉදිකිරීමට බලාපොරොත්තු වනවා. මේ සදහා රාජිත සේනාරත්න ඇමතිතුමා විශේෂ මහන්සියක් ගන්නවා. අපි බෙහෙත් මිල අඩුකළා,ස්ටෙන්ස් නොමිලේ දෙනවා, අපි ආණ්ඩුවක් හැටියට අපි අධ්‍යාපනය සහ සෞඛ්‍යය අංශ දෙකකට මුදල් ලබාදෙන්න තීරණය කළා. ඒ මගින් වර්තමාන පරම්පරාවට සහ අනාගත පරම්පරාවට මුදල් ලැබෙනවා. එතනින් අපි දියුණු විය යුතුයි.

මෙම වැඩසටහන සදහා අමාත්‍ය රාජිත සේනාරත්න, නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපති, වව්නියාව රෝහලේ අධ්‍යක්ෂ කේ. අකිලේන්ද්‍රන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී විය.

 

නව අදහස දක්වන්න