එක්සත් ජාතික පෙරමුණු ජනපති අපේක්ෂකයා එජාප අයෙක් විය යුතුයි | දිනමිණ

එක්සත් ජාතික පෙරමුණු ජනපති අපේක්ෂකයා එජාප අයෙක් විය යුතුයි

සුභාෂිණී සේනානායක

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ සමඟ සන්ධානයක සිටීන බවත් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් විය යුතු වන බවත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය,  ජනාධිපතිවරණය සඳහා පමණක් පිහිටුවනු ලැබූ සන්ධානයක් නොව, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සඳහා ද පිහිටුවනු ලැබූ සන්ධානයක් බවත් ‍මනෝ ගනේෂන් මහතා අවධාරණය කරයි.

දිනපතා මාධ්‍යහි පළ වූ පුවත් සම්බන්ධයෙන් අඳහස් දක්වමින් මේ බව කියා සිටි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා නිවේදනයක් ඉදිරිපත් කරමින් මෙසේද කියා සිටි.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ සන්ධානයක සිටින අතර, ඉදිරියටත් එසේම පවතිනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බිහිකිරීමේ පවතින අනිසි ප්‍රමාදය හා ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ දී පවතින ප්‍රමාදය පිළිබඳ අප කණගාටුවට පත්ව සිටිමු.මෙම නව සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ද ඇතුලුව, එක්සත් ජාතික පෙරමුණේ අනිකුත් හවුල්කරුවන්ගේ අන්‍යෝන්‍ය එකඟත්වය ඇති ව පිහිටුවනු ලබන එකකි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂයේ වියදමින් පිහිටුවීමට අපි බලකර සිටින්නේ යයි එම පක්ෂයේ කිසිවෙකුට කිව නොහැකි ය. මෙම නව සන්ධානය පිහිටුවීමෙන් සන්ධානය තුළ සිටින සෑම සියලු අයෙකුටම ප්‍රතිලාභ ලැබේ. එය, එක්සත් ජාතික පක්ෂයේ සහ නව සන්ධානයේ පාක්ෂිකයින්ගේ උපරිම උද්යෝගය යටතේ බිහිවනු ඇත. මෙම නව සන්ධානය, අපගේ උනන්දුව මත පමණක් පිහිටුවන ලෙස අපි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පීඩනයට ලක් නොකරමු.

ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් අයෙකු ඉදිරිපත් විය යුතු බවට අප විසින් මීට පෙර දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. පසුගිය අවස්ථා දෙකකදීම තරඟ කළ පොදු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් වූ දෙදෙනොම එක්සත් ජාතික පක්ෂය නියෝජනය නොකළ අය වූහ. එබැවින් අපගේ නව සන්ධානයේ පොදු අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු සොයා ගැනීම ඉතා සාධාරණ වේ.

මේ බැව් අප විසින් මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂය වෙත දැනුම් දී ඇත. එම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා නම් කොට ඒ බැව් අපට දැනුම්දීම එම පක්ෂයට භාර ය. අපි අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය නම් කරන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ සළකා බලා කටයුතු කරන්නෙමු. අපගේ කිසියම් අයෙක් මේ සඳහා එකඟ නොවන්නේ නම්, ඔවුන්ට වෙනත් මාර්ගයක් සොයාගත හැකි ය.

එහෙත් ඉහත කී ප්‍රමාදය වෙනුවෙන් නව සන්ධානයේ කිසිවෙකු වරදකරුවෙකු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුට කළ නොහැකිය. එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අභ්‍යන්තර ගැටුම් අවාසනාවන්ත ලෙස පිටතට පැමිණ ඇත. එය කණගාටුවට කරුණකි. එම නිසා, මෙම අවස්ථාවට අනුව කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන්, එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් මම ඉල්ලා සිටිමු.

පිහිටුවනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජනාධිපතිවරණය සඳහා පමණක් නොවන අතර, ලබන වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත්සභා මැතිවරණය සඳහාද බලපායි. ජනාධිපතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් පිහිටුවීමත් ඉදිරි මැතිවරණවලදී එය හලා දැමීමත් අප අනුමත නොකරමු.

එක්සත් ජාතික පෙරමුණ තුළ සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මහජන පක්ෂය සහ හෙල උරුමය යන පක්ෂවල නායකයින්ගේ අදහස් මට කිව නොහැකි ය. එහෙත් ඔවුන් ද මාගේ මතයේම සිටින බවට මට විශ්වාස ය.


නව අදහස දක්වන්න