2020ට අය-වැයක් නෑ | දිනමිණ


 

2020ට අය-වැයක් නෑ

ජයසිරි මුණසිංහ

මුල් මාස 4ට අතුරු ගිණුමට කැබිනට් අනුමැතිය

එළැඹෙන වසර සඳහා (2020) අයවැයක් ඉදිරිපත් නොකිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඇමැති මණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව වසර 2020 මුල් මාස හතරේ රජයේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කළ යෝජනාවට ද අනුමැතිය ලැබී ඇත. මේ වසරේ ඔක්තෝබර් මාසයේදී වසර 2020 සඳහා විසර්ජන පනත් කෙටුම්පතක්ද නොවැම්බර් මාසයේදී ජාතික අයවැයද ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. නමුත් මුදල් ඇමැතිවරයා විසින් ඇමැති මණ්ඩ‍ලය වෙත කළ යෝජනා සම්මත වීමත් සමඟ එය තවදුරටත් සිදු නොවේ. ඒ අනුව වසර 2020 අය වැය ලේඛනය මාස හතරකට කල් දැමීම සිදුවේ.

මේ වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් ජාතික අයවැයක් ඉදිරිපත් නොකර ඒ වෙනුවට අතුරු සම්ත ගිණුමක් ගෙනඒමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එම යෝජනාව ගෙන විත් තිබෙනුයේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නා අයට ඔහුගේ අභිමතය පරිදි වසර 2020ට ජාතික අයවැයක් සම්පාදනය කිරීමට ඉඩ කඩ ලබාදීමේ අරමුණිනි.

එම ජනාධිපතිවරණය ජය ගන්නා අයට නව ඇමැති මණ්ඩලයේ සංයුතියට අනුකූලව හා රජයේ නව ප්‍රතිපත්ති මූලික කර ගනිමින් වසර 2020 අයවැයක් සකස් කරලීමට මෙයින් ඉඩකඩ සලසා දී තිබේ.

වසර 1988දී හිටපු ජනාධිපති ආර්. ‍ප්‍රේමදාස මහතාත් වසර 2005දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් වසර 2015දී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් බලයට පැමිණි වහාම එතෙක් ක්‍රියාත්මක කළ අය වැය වෙනුවට නව අය වැය වාර්තා ඉදිරිපත් කරමින් කටයුතු කළ බව මංගල සමරවීර මහතා සිහිපත් කළේය.

නව අදහස දක්වන්න