"සැමට සෙවණ" නිවාස මෙහෙවරේ 250 වන ආදර්ශ ගම්මානය | දිනමිණ


 

"සැමට සෙවණ" නිවාස මෙහෙවරේ 250 වන ආදර්ශ ගම්මානය

ගම්මාන 3ක් අද ජනතා අයිතියට:

හම්බන්තොට-සොබානිල්ලගම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්දුනුවත්ත ග්‍රාමසේවා වසමේ උදාවූ "සරුතුරුලියගම" සැමට සෙවණ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමයේ 249 වන ආදර්ශ ගම්මානයයි. 2015 වසරේ ඇරැඹි සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහනේ 250 වන ආදර්ශ ගම්මානය වනුයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උදාවු "සොබානිල්ලගම"යි. එමෙන්ම එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම උදාවුණු "සාරහරිතගම" සැමට සෙවණ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමයේ 251 වන ආදර්ශ ගම්මානය වේ.

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ 250 වන මතක සටහන සනිටුහන් කරමින් අද(15) මේ ගම්මාන ත්‍රිත්වය නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවාසලාභීන්ගේ අයිතියට පත්කිරීම සිදුකරයි.

අසූව දශකයේ මෙරට ක්‍රියාත්මක වු ප්‍රමුඛතම සංවර්ධන ක්‍රියාදාමය වූ උදාගම් ව්‍යාපාරය ආරම්භයේ දී පුර්ණ රාජ්‍ය දායකත්වයෙන් ක්‍රියාවට නැංවුණි. පසුකලෙක එම සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රතිලාභීන් මේ සංවර්ධන වැඩසටහන සඳහා වඩාත් ක්‍රීයාශීලිව ප්‍රවිෂ්ටවීමෙන් එය ජනතා සංවර්ධන සහභාගිත්ව සංවර්ධන වැඩසටහනක් බවට පත්විය. එහිදි ප්‍රමුඛත්වය ගනු ලැබූවේ නිවාස අවශ්‍යතාව පැවති දුගී දුප්පත් ජනතාවයි. ඔවුන්ට තමන්ගේම නිවහනක් නොමැතිකම, ජිවිතය මුහුණදුන් මූලික ගැටලුව වූ අතර, එය රටේ දරිද්‍රතාව වර්ධනය කිරීමට හේතුවිය. එයට විසඳුම් සෙවීමේදී පුර්ණ රාජ්‍ය දායකත්වය පමණක් එයට විසඳුමක් නොවන බව උදාගම් ව්‍යාපාරය එදා ක්‍රියාවෙන් ඔප්පුකොට පෙන්නුම් කරනු ලැබීය. නිවාස අවශ්‍යතාව පවත්නා ප්‍රතිලාභීයාට තම නිවහන නිර්මාණය කරගැනීම වෙනුවෙන් කළහැකි විශාල කාර්යභාරයක් පවත්නා බවත්, එය ඉටුකරලීමට නිවාස ප්‍රතිලාභී ජනතාව නිරන්තරයෙන් සුදානම් වී සිටින බවත්, එදා උදාගම් ව්‍යාපාරයෙන් නොමඳව පෙන්නුම් කරනු ලැබීය. උදාගම් ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වු නිවාස දසලක්ෂය වැඩසටහනින් සිදුවුයේ රජයේ අවම මැදිහත්වීම සහ ජනතාවගේ උපරිම සහභාගිත්වයි. ඒ හේතුවෙන් රජයට අවම සම්පත් ප්‍රමාණයක් බහුතර ජනතාව අතර නොමඳව බෙදාදීමෙන් වඩාත් ඵලදායි සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබිණි.

2015 වසරින් ඇරැඹි ,සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහන එදා අද කාලපරිච්ඡ්දයේ උදාගම් ව්‍යාපාරය හා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහනින් ලැබූ අත්දැකීම් මගින් ගොනු කොටගත් සංවර්ධන වැඩසටහනක් බවට පත්විය.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා 2015 වසරේ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන ආරම්භ කරනු ලැබූවේ, එවකට රජය විසින් ක්‍රියාවට නැංවූ දින 100 කඩිනම් සංවර්ධන වැඩසටහනට සමගාමීවය. සැළසුම් හා ක්‍රියාකාරිත්වයෙන් එදා උදාගම් ව්‍යාපාරය සහ, වත්මන් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන කිසියම් සමානකම් පෙන්නුම් කළද, වර්තමානයේ සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ වත්මන් සමාජයට ගැළපෙන ආකාරයෙන් උදාගම් ව්‍යාපාරය ප්‍රතිනිර්මාණය කිරීමත් සිදුකර තිබේ.

අතීතයට වඩා වර්තමානයේදී මේ ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ වඩාත් සැලසුම් ගතවූත්,ඉලක්ක ගතවූත්,ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවේ.

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන පුළුල් ජාතික සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන අතර, එහි ප්‍රමුඛතම සංවර්ධන වැඩසටහන වනුයේ ආදර්ශ ගම්මාන ක්‍රියාවලියයි. 2015 වසර ආරම්භයේදී කඩිනම් දින 100 වැඩසටහනට සමගාමීව දිවයින පුරා නව ගම්මාන 44ක් ඉදිකරලමින් ඇරැඹි මේ සංවර්ධන වැඩපිළිවෙළ අද වනවිට දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 2553 ක් උදාකරලීම දක්වා විහිදී ගොස් තිබේ. මේ වාර්ෂික ක්‍රියාකාරිත්වය දෙස බැලීමේදී මේ ආදර්ශ ගම්මාන වැඩසටහන වසරින් වසර වර්ධනය වෙමින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වූ ආකාරය මනාව පෙනී යයි.

2015 වසරේදී සීමිත ආදර්ශ ගම්මාන ප්‍රමාණයකින් ඇරැඹි ජාතික නිවාස වැඩසටහන 2016 වසරේ නව ආදර්ශ ගම්මාන 197ක් නිර්මාණය කිරීමට සමත්විය. මෙය 2017 වර්ෂයේදී පමණක් නව ආදර්ශ ගම්මාන 270ක් දීප ව්‍යාප්තව ඉදිකරලීමට හැකියාව පෙන්නුම් කර ඇත. මෙය වඩාත් වර්ධනීය තත්ත්වයකට පත්වු වසරක් ලෙස 2018 වසර හඳුන්වාදිය හැකිවේ. එම වසරේදී පමණක් දිවයින පුරා ඉදිවු ආදර්ශ ගම්මාන ප්‍රමාණය 1060කි. 2019 වසරේදී මෙය වඩාත් වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව ගතවු මාස 08 කාලයේ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහනින් පමණක් නව ආදර්ශ ගම්මාන 982 ක් උදාවී තිබේ. උදාවූ මේ සෑම ආදර්ශ ගම්මානයක්ම ශ්‍රී ලාංකික ජන සමාජයේ නිවාස අවශ්‍යතාව පවත්නා තරුණ අනු පවුල්වලට මුල්තැනක් දෙමින් නිර්මාණය වීම මේ වැඩසටහනේ දැක ගතහැකි විශේෂිත ලක්ෂණයකි.

එමෙන්ම පාරම්පරික නිවාස ගැටලුව පවත්නා ග්‍රාමීය ප්‍රදේශවල මේ නව ගම්මාන බහුතරය නිර්මාණය වී ඇත. තවද, උප නාගරික ප්‍රදේශවල මෙන්ම උඩරට වතුකරයේ මෙවන් ආදර්ශ ගම්මාන රැසක ඉදිවීම සිදුවී තිබේ. ජනවාර්ගික යුද්ධය හේතුවෙන් උතුරු නැඟෙනහිර අවතැන් වු ජනතාව දීර්ඝ කාලයක් ජීවත්වු පාරම්පරික තම නිවස අහිමිවීමෙන් වු කම්පනය සාක්ෂාත් කරගනු ලැබුවේ සැමට සෙවණ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමයේ සහභාගිත්ව සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එය වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වූ උතුරු නැඟෙනහිර කළාපයේ මේ ආදර්ශ ගම්මාන වැඩසටහන වඩාත් ව්‍යාප්තව ඇත. ඒ අනුව උතුරේ දිස්ත්‍රික්ක ආවරණය කරමින් නව ආදර්ශ ගම්මාන 500කට ආසන්න ප්‍රමාණයක් ගතවු සිවු වසරක කාලයේ උදාවී ඇති අතර, එවන්වු අත්දැකීම් ඇති නැඟෙනහිර පළාතේ මෙවන් ආදර්ශ ගම්මාන 300කට අධික ප්‍රමාණයක් ඉදිවී තිබේ.

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළින් ඉදිවු නව ආදර්ශ ගම්මාන 2548 වෙතින් ආවරණය වන ප්‍රතිලාභී පවුල් ප්‍රමාණය 347784 කි. සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ හුදෙක් මේ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමයට පමණක් සීමා නොවන අතර, එය පුළුල් ඒකාබද්ධ ජනාවාස සංවර්ධන වැඩසටහනක් ලෙසින් ජනගත වී තිබේ. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 30445 ක් වන අතර,ඒ තුළින් ප්‍රතිලාභ ලැබු පවුල් ප්‍රමාණය ලක්ෂ 03කට අධික වේ. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමය හුදෙක්, නිවාස සංවර්ධනයට පමණක් සීමා නොවේ. එමගින් නිවාස මුල්කොටගත් නිවසේ ජීවත්වන ප්‍රතිලාභී ජනතාවට අවශ්‍ය සියලු සේවා පහසුකම් සමඟ ඔවුන්ගේ ආර්ථික සමාජීය ගැටලු සඳහා විසඳුම් ලබාදෙන සංවර්ධන වැඩසටහනක් ලෙසින් ක්‍රියාත්මක වේ. ඒ නිසාම සැමට සෙවණ සංවර්ධන ක්‍රියාදාමයෙන් බිහිවන ආදර්ශ ගම්මාන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංවර්ධනය සඳහා නව ආදර්ශයක් ලබාදුන් ජනාවාසයක් ලෙස හඳුන්වාදිය හැකිවේ.

සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළේ 250 වන සුවිශේෂි මංසලකුණ සනිටුහන් කරමින් උදාවූ ,සොබානිල්ලගම, නව නිවාස 23 කින් සමන්විත වන අතර, මාර්ග,ජලය, විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම් සමඟ, මේ ගම්මානය ඉදිවී තිබේ. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ සංවර්ධන කාර්යයන් ඇරැඹි ආදර්ශ ගම්මාන 2500 සංවර්ධන ක්‍රියාදාමයෙන් මේ ජාතික සංවර්ධන වැඩපිළිවෙළ නිමනොවේ. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව වනුයේ, 2025 වසර වනවිට සමස්ත දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 20000 ක් උදාකරලීමෙන් මෙරට සෑම ප්‍රතිලාභයෙකුටම නිවහනක සැබෑ හිමිකම ලබාදීමයි. එම අපේක්ෂාව, බලාපොරොත්තුව, ඉටුකරලීමේ සාර්ථක සංවර්ධන ක්‍රියාදාමයක නිත්‍ය මතක සටහනක් ලෙස අද(15) නිවාසලාභීන්ගේ අයිතියට පත්කරන සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ 250 වන ආදර්ශ ගම්මානය ,සොබානිල්ලගම, ආදර්ශ ගම්මානය සනිටුහන් කරයි.

ලක්විජය සාගර පලන්සූරිය

නව අදහස දක්වන්න